Sunday, March 31, 2013

බයෙන් හිටි දවස..

හිතුවට ගොඩක් කලින්
උදාවිය ඒ
බයෙන් හිටි දවස ..


දියවි දියවී, පාට 
මැකි මැකී හේදෙන,
හීනයක් ඇතුලේ
රස්තියාදුවේ ගිය වෙලාවක ..
මුණගැසුනු මට මූණට
මාව හොයා හොයා යන
 මාව ම!!!!


සමාවන්න..!


නවතා දැමිමි වැයුම 
ඒ මන්ද්‍ර ශොකී ස්වරය 
හිතේ දුක දුරට පා කරවන 
නමුත් අසනා සවන් සූරන

දැන් ඉතින් එය අසා 
 නොබලන් මදෙස ඔය ලෙස 
බලාපොරොත්තු සහගත 
දිළිහෙනා ඇස් වලින් 
නැවුම් ස්වරයක් අයදින 

සමාවන්න,
අප මේ හමු වුනේ 
මා ඒ වීණාව 
ගඟට අතහැර 
එන අතර මඟ ය 


Saturday, March 30, 2013

සයිබර් මාරයෝ



යතුරු පුවරු පුපුරු ගසන 
මූසික උමතුවෙන් නටන 
බාවනවා, තොපි, පරයින් 
වචන පුපුරමින් ඇවිළෙන 


හක්කේ බුදු රැස් දිලිහෙන 
බොක්කේ දඩ මස් කුණුවුන 
දෑස්‌ අඳ සයිබර් මර සෙන් 
වර්චුවල් රුහිරු වගුරන 

Monday, March 25, 2013

නුඹට කියන ගී..

ගලන සරසවිය අස්සෙන් 
රහස් කියන දොළ පැත්තෙන් 
පළා ගිරා ගීයක් ගිලි ගිලී මතුවෙනා..
දියේ පෙණ කැටිති හරියට 
නුඹේ හසරැළිති වගේම ය 
උනුත් කියනවා අහපන් ටිකක් නැවතිලා.. 

පිණිත් එක්ක හරි හරියට 
කුසුම් පෙති වහින හවසක 
උඹත් තෙමි තෙමී එනව ද මගෙත් එක්කලා..  
හිතේ ඇවිලෙනා හිතිවිලි  
තොලින් ගෙන සීත කොපුලත 
තියන්නට, දෑස් වහපන් ටිකක් නැවතිලා.. 

Saturday, March 23, 2013

අන්ධකාරයෙන් ඇබින්දක්..

ඇඟිල්ලට අරන්
ඒ අන්ධකාරයෙන් ඇබින්දක්
දිවගා බලමි නිකමට
මං, හැමදාම කරන විදියට

උගුරට හොරා ගිලගත්තු
හිතුවක්කාර හිතුවිලි ගුලිය 
දඟලලා වමනයට එන ගතිය  
ගෙනෙයි ඒ තිත්ත කළුවර කැටිය

ඒ වුනත් ..

ඔරවා බලන හඳක 
එලිය බැල්මට වැඩිය
ඒ තිත්ත මට හුඟක් පැණිරස ය

Wednesday, March 20, 2013

අසම්පූර්ණ ප්‍රථම ෆැන්ටසිය

උතුරින් උපුල් උවනත්
දකුණින් දසන් දෙපෙළත්
පෙරදිගින් පුන් ලැම හස්
අවරදිග අතැඟිලි රත්
ගිණිකොනින් ගෑ පුසුඹත්
වයඹින් වසාරොද  විත්
නිතඹ නිරිතෙන් නැලවෙත්
ඊසාන හී සර ඇස්
යහන් ගැබ වට කරගත්

ගුලිව වකුටුව තවමත්
කුමර බඹසර නිදිගත්,
නුදුරු ඉරණම නොම දත්..!

Sunday, March 17, 2013

මත්තල ජන කවි සංවාද..!

කැලේ කොලේ කකා නොඉඳ
රෑන පිටින් ගමට වදින
අලි සෙල්ලං නවත්තන්න
වැටක් තනන්නෙයි?

දෑත සත්තිමත් කොරාපු
පිනට අපේ ගමට වඩින
ශ්වේත හස්ති රජුට ඉන්ඩ
ගාල තනඤ්ඤයි!

යකඩ කුරුළු පාර මැදින්
කහ ඉරි නොබල ම පනිනා
නාඹර සියොතුන් ගස් බැඳ
මට්ටු කොරන්නෙයි?

හේන් රකිනු තවත් මොටද
එදා ඉඳන් කල විදියට
අපි ඇවිදින් කුලියට
සකලයන් අඹඤ්ඤයි!

රට ජාතිය බේර ගන්ඩ
අපේ වරිගෙ බෝ කරන්ඩ
රෑ පුරාම පහන් නිවාගෙන
දත කන්නෙයි?

බල සත්තිය පිරිමහන්ඩ
අපේ යුතුකොම ඇත කොරන්ඩ
එළි වෙන තුරු හීනෙන්
සුර ලෝකෙ බලඤ්ඤයි!
අලි නැට්ටේ ළඟදිම අපි 
ඒ ලොව යඤ්ඤයි!

Tuesday, March 12, 2013

නුඹෙ සිනහව

එදා මෙදා දුටු සොඳුරුම සිනහව
 සැලී දෙතොල් මල්  ඉහිරෙන සිනහව
හිතේ අඳුරු මුළු පුරවන සිනහව
දුරින් ඉඳන් දැක සැනසෙන සිනහව

නිදා වැටෙන ඇස් ඇහැරන සිනහව
එතී වෙළී ගත පැටලෙන සිනහව
අගේ නොකර හිනැහෙන සුදු සිනහව
මගේ නොවන
පිවිතුරු  මුදු සිනහව

සළා දෙබැම හැඩ,  නළියන සිනහව
බලා ඉන්න හිත පොරකන සිනහව
නෙලාගන්න බැරි නෙළුමක සිනහව 
සදාතනික සිහිනෙකි ඔය සිනහව






Monday, March 11, 2013

අකීකරු සුළඟ..


රත් වෙච්ච සීලිමේ
ගැටී ගිණි ඇවිලිච්ච..
බමණ පංකා තටුව 
හැපී කලබල වෙච්ච..
අකීකරු මාරුතය
මඟ හසර වැරදිච්ච..
සැනින් මුදු නල රළකි
කෙහෙරැලේ පැටලිච්ච..

Saturday, March 9, 2013

පොට්ටු පොහොට්ටුව..

අඩ හඳ මැද
හරි පොඩියට
පිපුන පොට්ටු 
පොහොට්ටුවක්..
වහන් කරන්නට හැදුවට
අඩු නෑ එක එළිය පොදක්..
කවදා ළඟකට එන්න ද
කරත්තයෙන්, 
මං තාමත්...
යාන්තමට හිනාවෙයන්
දෑස් වලින්
ඇති ඒකත්..

Sunday, March 3, 2013

" මම තවම පණ පිටින් "

හිස්ව ඇති බව දැනුනි
දිවි බඳුන..
පතුල කැලතූ කල
හසු නොවුන විට,
මිහිදන්  සිහිනයක
දිරාපත් ශේෂයක් වත්,
කාන්සිය දැනෙන විට
අතට ගෙන හුරතල් කල

ආත්මය විනිවිදින
තියුණු වේදනාවකි
විදුලියක් සේ ඇදී ගිය
හදවත දෙසට..
දබරැඟිලි තුඩගින්
රක්ත ලේ බිඳුවක්
ආයාසයෙන් උණා විත්..
ඇමිණී තිබූ 
රෝස කටු පොසිලය
පොඟවමින් තිබුනි..  

ප්‍රමුදිත සිතින්
ලියා තැබුවෙමි
කලකින් නොලියූ දිනපොතෙහි
අද දිනට අයත් පිටුවේ
පොල් ගෙඩි අකුරෙන්

" මම තවම පණ පිටින් "


Related Posts Plugin for WordPress, Blogger...