Monday, November 20, 2017

අංකූරෝ


හ්‍යුමස් රසට කෑදර 
තෘණ බුමුතුරුණු අතහැර
නොනැවත මතුපිටින්
කිඳා බසිනුව පහලට
රලු ගල් බොරලු  විනිවිද

මුතු මැණික් 
‍රන් නිදන් නම් නොව
මුල් ගැටෙනු නියමිත,
මිනී ඇට කඳු ම ය
බොහෝ වධ විඳ වැළලුණ
අසාගන් ඒ හැමවිට 
කතා හැම උන් මුමුණන

වැඩී අතු හැම අත
නිවා සනහන සව්සත
උඹ මහ ගහක් වනු ඇත
ලපැටි අංකුර හිතවත


(Painting by Ion vincent)

වියත්-මං


වියතක් පළල මංපෙත
වියතක් දුරද නොපෙනෙන
ඇවැතක් පවා නොතකන
පිරිසක් තබති පියවර

අඳුරෙන් අඳුර වෙතටම 
අඩියෙන් අඩිය පිවිසෙන
පසුපස නොසිට පසුකර
අනෙකෙක් යතත් ඔරවන

අහසක් උසැති මිනිසුන්
මහ මං තනනු වෙහෙසෙන
වියතක් නූස් ‘වියතුන්’
පටුමං වෙතම පිවිසෙන

(Oil Painting by Karen Luke)


Related Posts Plugin for WordPress, Blogger...