Tuesday, February 25, 2014

ඉරුණු අහස..

අතොරක් නැතිව ම මල්ටි බැරල් ගහනකොට අපි දැක්කේ කැඩෙන හැටි නාඹර තල් කරටි විතරයි .. ඒ වුනත් ඇත්තට ම හිල් උනේ අපේ නිල් අහසයි.. ඇවිදින බෝම්බ ඇවිදින් බ්ලාස්ට් කරගත්තාම අපි දැක්කේ ඉහිරිච්ච ඔළු, අත්, කකුල් විතරයි.. ඒ වුනත් ඇත්තට ම හිල් උනේ අපේ නිල් අහසයි.. "දේවෝ වස්සතු කාලෙන" පිකර් කටින් කිව්වට වස්සන්ඩ වතුර ටික කොහේ එකතු කරන්ඩ ද ඔය හිල් වෙච්ච අහසේ දෙවියෝ උනත් දැන් අසරණයි ! මේ නියං කරදර අකල් වැහි ඒකයි මහන්නට හදුවොතින් දැන් ඔය ඉරුණු තැන් ටික අයෙමත් තුවාලේ අලුත් වෙනවා තමයි .. ඒ වුනත් ආකහේ හූල්ලන එකවත් නවතියි ...!

Sunday, February 9, 2014

ඇවිත් යන්න..

සතුට යනු කුමක් දැයි 
හරියටම දැනගන්න 
ඉගිල 'ඒ' මායිමෙන් 
සරසවිය වෙත එන්න...
පිනි වැටෙන සැඳෑවක
පටු මඟක ඇවිද ගොස්
රොබරෝසියා මලක්
සීරුවට සිපගන්න...

ජීවිතය කුමක් දැයි
හරියටම දැනගන්න 
රළු පොළොව මත කෙලින්
දිගු ගමන අරඹන්න...
හති දැනුනු, පය රිදුනු
ඇද වැටුනු වෙලාවට
සහෝදර අත් පහුරු
වෙලෙනයුරු දැකගන්න...

වියෝ දුක කුමක් දැයි
හරියටම දැනගන්න
මේ සොඳුරු බිම් පෙදෙස
හැර යන්න සැරසෙන්න...
ගලහ හංදිය ලඟදි
මතු දාක හෙලනු වස් 
හන්තාන තරම් බර 
සුසුමක් අරන් යන්න...

Saturday, February 1, 2014

ඇරයුම්..



නායේ ගියපු පොත් කන්ද ට 
යට වී නොමැරී තිබුන ද 
තැලී සව් පතක් තරමට 
තුනී වෙලා ඇත හදවත 

හැඩ තල හැම සමතල වී 
ගනකම අඩුවී හොඳටම 
පැතලි වෙලා ඇත හදවත 

ගිනියම් හුළඟට පැටලී 
තෝන්තු වී ඇත හදවත 
වසා අඩ අඳුරු කුටිය ම 
උඩුබැල්ලෙන් නිදි හදවත 

.............

සත් කුළු පව් තරණය කර 
ඔබ දැන් පැමිණිය යුතුවැත 
සිලිටි දෙපා කඩිනම් කොට 
සැනෙකින් පැමිණිය යුතුවැත
සත් සමුදුරු දිය පිහිනා 
ඔබ දැන් පැමිණිය යුතුවැත 
කිඳුරු වරළ රළ සලමින් 
සැනෙකින් පැමිණිය යුතුවැත

බුහුටි ඇඟිලි තුඩු දිගහැර 
අත්ලට අරගත යුතුවැත
හදක හැඩය යළි මතුකොට 
පණ නල තැවරිය යුතුවැත

ඉන්පසු එහි උපදින කව 
මා හා විඳ ගත යුතුවැත.. 
Related Posts Plugin for WordPress, Blogger...