Friday, May 31, 2013

එන්න එළියට..

හතර පැත්තෙන් වටකෙරුව 
පරණ රාමුව, 
ඉස්සරහ දුවිලි ඇහිරුණු  
හීරිච්ච වීදුරුව, 
රිංගන්න බැරිනම් අස්සකින්, 
කඩාගෙන හරි, 
එළියට ඇවිත් බලන්න..
තවත් ඔතනම, 
බලාගෙන නොඉඳ..

පෙනේවි, කොයි තරම් කැත ද 
ඔය ඉන්න පින්තූරෙ 
කිලිටි වුන වට පිට 
ආයෙමත් නොහිතේවි 
මොහොතකට වත් යන්න 
ඉඩ ඇතත්, ඇතුලට...





Wednesday, May 29, 2013

ගිනි ..

ගමින් ගම 
නගරයෙන් නගරය 
හෙමි හෙමින් ඇවිලුණි 
ගින්දර 

කන්නට තිබූ පිදුරුත් 
නිර්ලෝභීව අතහැර 
උස මහත් කෙරුවෝය 
ගිනි දළු වෙතම විසි කර 
"සුපින්වත්" පුරවැසි දන 

මහ දවාලෙත් 
හීතලෙන් වෙව්ලුව  
තිස් වසක් තිස්සේ 
ගිනි රස්නේ හුරුවෙච්ච 
සුදුමැළි හිත් වලට 
අයෙමත් ඉනුවා 
උණුම උණු ලේ 

තව පිදුරු දර කුමට 
පෙට්රෝල් බූලියකුත් 
තෙමඟුල් දවසකම හැලුනාම
හෝස් ගා ඇවිලෙන්නේ 
ඉතින් ඔය   
කදිමට 

හබන් කුකුලනි 
වරෙව් දැන් 
ජය මඟුල් කන්නට..


Friday, May 24, 2013

ප්‍රශ්න !!!



විබාගෙට නාහන බොහෝ දේ ඇත මුණගැහෙන අය බොහෝ විට අහන


එක පොතක් ඇතුලේ වත්,
උත්තරය නොතිබුන
දුක, සතුට මොකුත් නැති
ඇල් මැරුණ හිනාවක්
විතරක් ම මුව අගට උණවන

හඳ එක්ක තනි වෙන්න
හිතනකොට කළු වළා මතුවෙන
පිනි පොදට බයේ මම
දුවන් විත් කාමරේ ගුලිවෙන
පිටු අතර ඇවිදලා වෙහෙස වුනු
ඇස් නිදා නොනිදන
ආයෙමත් පහුවදා
වෙනදාට වගේම ඉර ඇවිළෙන


විබාගෙට නාහන
බොහෝ දේ ඇත
මුණගැහෙන අය
පුරුද්දට අහන..

Friday, May 17, 2013

මහතෙකු සිටී සොඳින් (?)



කලකට ඉහත 
ගෙන ආ අලුත
එය කදිම කවි පොතකි 
මියුරු පබැඳුම් පිරි.. 
මත්ව තින්ත සුවඳින්  
වරින් වර  සිඹි...

බොහෝ දුර ගෙවා ගොස් 
මගෙ ලඟට යලි පැමිණි 
එය එකම එක කවකි 
අද ,
පැරණි කඳුලක තෙත 
අකුරු අතරට වැටී 
වියළුණු..
අමතක කල බව 
මොහොතකට අමතක වුන.. 

සොඳින් සිටිනා පිණිස 
'මහතෙකු' විලස ...

( මහතෙකු සිටී සොඳින් - පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත පද්‍ය සංග්‍රහයකි )

Wednesday, May 15, 2013

ඔබ ඉන්න තිබුනා



ලා රොස කොපුල් දැක
රොබරෝසියා පොකුරු 
රෝෂයෙන් බිම බලනු
දැක ගන්න තිබුනා

සලා නෙති මිණි සඟල
උදා තුරු පත් තුඩග
දිළිහෙනා පිනි බින්දු
පරදන්න තිබුනා

නේක පැහැ තවරමින්
රැයෙහි දිගු සිහින වල
වගෙම හැබැහින් ලඟින්
දැවටෙන්න තිබුනා

කඳුළු කැට, සිනහ රැළි
එක හිතින් විඳගන්න
මගේ තනි නොතනියට
ඔබ ඉන්න තිබුනා...

............!!!



කෑ ගසා සිනාසුනු දහවල
කෙළිදෙලෙන් ගෙවී ගොස්
එළැඹෙයි
සීතලට සුසුම්ලන රාත්‍රිය..
ඉකි ගසා අඬන්නට සැරසෙන
දුක, සිහින අතර දියවී යන ..
මතක අමතක වෙන
අමතක මතක ඇහැරෙන
ඉර නැගෙන
යලි මියෙන
සඳ පිපෙන
පරව යන
එකට කෙටි නමක් දෝ
ජීවිතය ???
 

ආයෙමත් වැස්ස



අන්න අහසම අයිති කරගෙන උන්න ඉර කළු අඳිනවා
පන්න පන්නා සිරුර ඇවිලූ ගින්න ටික ටික නිවෙනවා
ඉන්න බෑ කටු අනියි වැහි පොද දන්න බව නුඹ දන්නවා
එන්නදෝ මල් කුඩේ හෙවනට ඔන්න ආයෙත් වහිනවා 
Related Posts Plugin for WordPress, Blogger...