Sunday, December 25, 2011

මගෙ හිත...



පොත් පිටු අතර හිරවුනු නෙත් රිදෙනවද
උඳුවප් හීත සියුමැලි ගත            දවනවද
නිදිමත ඇවිත් තනියට       තනි රකිනවද
මගෙ හිත නුඹට ඉඳහිට වත්   දැනෙනවද

Sunday, December 18, 2011

උයනක අන්දරය




වනස්පතී වෘක්ෂයෝ,
අතැර යති මේ උයන..
හිස නමා කීකරුව,
කාලයේ අණසකට..

ටිකෙන් ටික දැවී යයි,
සිඳී  රැඳි තෙතමනය..
උන් නිසා හෙවණ වුනු,
මේ විසල් මහ පොළව..

දළු දමා නැග ඇවිත්,
පුරවන්න ඒ අඩුව..
හැමදාම මුල පිරූ,
යටි වියන පණ අදින..

කතුරු පහරට හසුව,
නොයෙක් හැඩයට කැපුන..
ළපටි ක්‍රෝටන් පඳුරු
ඔහේ හුළඟට වැනෙන..


Thursday, December 15, 2011

හටන



එකිනෙකට එරෙහි වී
හිතේ කවි කල්පනා
යුද වැදුනු කලට
හද බිම ලෙයින් නැහැවුනා
දිනනු බැරි බව දැනත්
සටනටම ඈඳුනා
නැතුව ජය පැරදුමක්
අසරණව මියැදුනා

Monday, November 28, 2011

විරාමය...



සටහනේ පිටු පුරා
දිවගිහින් වෙහෙසිලා..
රිදෙන ඇස් දුරක ගොස්
හතිඅරියි නැවතිලා..
කවුලුවෙන් මෙපිට
ඉඟි කරන විකසිත වෙලා..
මලක පෙති පුරාවට
තිබුනි කවි ලියවිලා..

එදා සහ අද...


තොරක් නැති මර උගුල්,
රුදුරු වෙඩි වැහි මැදින්,
එක හිතින්..පෙරට ගොස්,
දිනුවාලු උන්...

නමක්,ආ ගමක් නැති,
කඩදාසි රොකට් වැද,
තනිව..බිම ඇද වැටී,
පණ අදිති මුන්..

Monday, November 14, 2011

පිනි බින්දු..


පිනි බින්දු හොරෙන් විත්
වලාකුළු අග ඉඳන්
සිපගනී නුඹේ වත
කෙලෙස ඉන්නද බලන්
තවත් හිත නොරිද්දා
ඔය සොඳුරු රුව අරන්
මුවා වී හිරිකඩෙන්
හිතේ හෙවනට වරෙන්

Sunday, November 6, 2011

හන්තාන අහස යට...


හන්තාන අහස යට
ඔබ ඔතන ඉන්නවද
නිල්පාට, හිනාවෙන
තරු කැකුළු පෙනෙනවද
ලඟට විත් දඟ කරන
කෙහෙරැලක සුවඳ විඳ
සුලං වැල් නොවේ ඔය
මගෙ හුස්ම, දැනෙනවද

Friday, October 14, 2011

සුසර සර...


සිරවෙලා දෙතොලතර
උරා ලය සුසුම් සර
කොඳුරනා ස්වර අතර
වෙලා හද සර සුසර

Saturday, October 8, 2011

ගිම්හානය...


රතු වෙච්ච ඉර
අහස මැද දැවෙයි නැවතිලා
නැලවිච්ච වදුලු තුරු
බිම බලයි මැලවිලා
වේලිච්ච පොළොව
සිහිලක් සොයා වෙහෙසිලා
වැරදිච්ච මග
මේකුළත් දුරට ඉගිලිලා

Friday, October 7, 2011

කෙටිම කෙටි කතාවක්...


පිදුම පෙර වදන
පෙළගැස්ම සරුවට ලියා
නවමු නව කතාවක්
අකුරු කරනට කියා
සැදුව මුත් කදිම
පන්හිඳ ද වියලුනු නියා
කෙටිම කෙටි කතාවක්
විලස නිමවී ගියා

Thursday, October 6, 2011

පමා වී නැගුන සඳ...


සමා වුව මැනව මට
නිමා වී යැයි සිතිමි
අමාවක රාත්‍රිය
දමා ගන කලුව ඇද
තෙමා වැහි කඳුලු පොද
නිවා නුඹ නික්ම යයි
පමා වී නැගුන සඳ

Tuesday, October 4, 2011

සීතාම්ර සළු...


හැකි හැම දෙය කන විකුනා
අපෙ පිනටම වැඩ වෙසෙනා
සීතාම්ර සළු හඳිනා
මැති සඳ මහ මඟ වඩිනා

"නුවණැතියන්" ඇස පිනනා
අනේ අපට නොම පෙනෙනා
අණබෙර වයමින් ගයනා
රුව නැත නිරුවත පමනා

හොඳහැටි හැම හට පෙනෙනා
එනමුදු සළුවම වනනා
රවටන් ඇස, සිත සොඳිනා
හැසිරෙති "නුවණැති" ලෙසිනා

සල-නිසල


නිලංකාරව දෙනෙත
පිරුනු ගන කලුවරට
රිදුම් දෙයි දෙසවනම
නිහැඳියාවේ හඬට
සුසුම් රළ ගොඩ ගලයි
සිතුම් නැවතුන සිතට
පැතුම් පුරලා කුමට
හෙටත් නො එනා හෙටට

Tuesday, September 13, 2011

දේශප්‍රේමය(?)



නියරත් වැටත් ගොයමට වග කියන කල
පෙනුනත් කෙනෙක් නැත ලතැවෙන්නට මෙකල
"දේශප්‍රේමයෙන්" කර සියොලඟ සසල
දන බිම ඔබා නමදිති මිරිවැඩි සඟල

Monday, September 12, 2011

පෙම් කවක් මුමුනණන්න...

නෙත් නුරා තවරමින්
කිඳුරු සිරි විඳ ගන්න
හිත් පුරා  කිමිදෙමින්
සෙනෙහසේ නැහැවෙන්න
මත් වෙලා උනුහුමෙන්
සීතලට සමු දෙන්න
විත් සරා සිහිනෙකින්
පෙම් කවක් මුමුනණන්න

Monday, August 29, 2011

සාලිය (නො )වෙමි




කෙලෙස සාලිය නම් ලබන්නෙද
පෙම් ලොවෙහි සිහසුනෙන් පුද ලද
පරපුරක යදමින් දෑත් බැඳ
හෙලන කල බර කිරුළ හිස මැද

කෙලෙස නම් සැනහී හිඳින්නද
සොඳුරු මාලා සුවඳ විඳ විඳ
උරුමයද කරුමයක් වූ සඳ
සතුට සිහිනෙන් වත් දකින්නද

Tuesday, August 9, 2011

හෙමි හෙමින්...


ඉර මුහුද යට ගිලෙයි,
රාත්‍රියට ඉඩ දෙන්න...

හඳ හෙමින් දියව යයි,
අමාවක එළඹෙන්න...

තරු එකින් එක නිවේයි,
කලුවරට රජ වෙන්න...

හෙමි හෙමින් පිය මනියි ,
නුඹත් ඈතට යන්න...

Tuesday, July 26, 2011

සිහින තාරකාවී....


ආවත් හීනයට පමා වී
දී මුදු එළිය හිත නිවාවී
මා නෙත කඳුලු පිස හිනාවී
ආදර සිහින තාරකාවී

අතරමන් වී දිවි කතර මැද
හසර නොම දැන අසරණව හිඳ
දිලෙන පෙරමඟ තරු ලකුණු මැද
පෙරට ඇදෙනෙමි අඳුර සිඳ බිඳ
ලා පිරුණද නුරා සඳවත
අරා නුඹකුස අමාවක නැත
සදා එක ලෙස දිලෙන තරු නෙත
මට අගෙයි ඒ සොඳුරු එළි තිත

Friday, July 15, 2011

අනාගතය ඇවිල්ලා...



අතීතය අළුකරන්
නාඳුනන හෙට අරන්
ගුරු ගෙදර දොර ඇරන්
ඇවිත් හිත අවි දරන්

කඳවුරෙන් තිලිණදුන්
පාට කන්ණාඩියෙන්
බලයි උන් කී ලෙසින්
පෙනුම බොඳවූ ඇසින්


මිදෙයි තුරුහිස් මලින්
ගොලුයි සියොතුන් මුවින්
හන්තාන කඳු හිසින්
හමයි සුසුමක් හෙමින්

Monday, July 11, 2011

පන්හිඳක කඳුලු...



හැරදා සිහින දැවටුනු නෙතු පුරාවට
ගියදා සිහින දෙව්දුව යලි විමාමෙට
ගැලුවා පන්හිඳෙන් කඳුලැලි රටාවට
මැවුනා සොඳුරු කවි පත් ඉරු පුරාවට

Friday, July 8, 2011

මනමේ කථාවක්..


කරලියට කිසි විටෙක නොපැමිනි
වැදි රජුට හද බැඳී සෙනෙහෙනි
කුමරියද රඟහලෙන් නික්මිනි
අහෝ වනමැද කුමරු තනිවුනි

Wednesday, July 6, 2011

ඔබ එන්න...







අඳුරු වුනු හිත් අහසඑළිය කර දිළිහෙන්නතරු පොකුරු මට කුමටසඳ මඬළ වී එන්න
තෙත හිඳුනු හිත් පතුලසෙනෙහෙ දිය පුරවන්නමල් තුහින මට කුමටමහ වැස්ස වී එන්න

Friday, June 24, 2011

හදවතේ මළගම..


නෙත් දියෙන්
නහවා
ධවල පිළියෙන්
සරසා
සිරුවෙන්
අත්හළෙමි
අතීතයේ ඒ
ආගාධය වෙත
වෙඩි වැදී
ලේ වැකුන
හදවත
සමාදානයේ
සැතපෙනු පිණිස

ජීවිතය...


දින නියමයක්
නැතිවම
කල් ගොසිනි
ජීවිතය
ඈත නොපෙනෙන
අනන්තයෙනුත්
ටිකක් ඈතට
එතෙකින්ද නොනැවතී
ඈත් වෙයි
තව තවත්
පරදමින්
කාලයේ වේගයත්
හැකිවේද
නොදැන වුව
ලංවෙන්න
පොරබදමි
මැරෙන්නට
පෙරඅතුව
ජීවිතය
ලඟටවත්

Wednesday, June 22, 2011

පිහාටුවක්...






හන්තානේ
පොද වැස්සක
සිහිල රැඳුනු
නළ රැල්ලක
පාවී එක හැන්දෑවක
රැඳුනි ඇවිත්
හිතෙ කොනක

දැනුනත්
මුදු පහස හදට
පිහාටුවක
සැහැල්ලුවට
හමන වියරු
සැඩ සුලඟට
පාවේවිද
මගෙන් දුරට

Tuesday, June 21, 2011

දුකද නැති කල...


කැරකෙනා විලස,
කටු ඔරලෝසු මුහුණතේ
එකම තැන කැරකැවෙයි,
දිවිය දැන් හිතුමතේ
වෙනසකට තිබු,
කඳුලු බිඳුද වියලී නෙතේ
සිටිය තනි නොතනියට,
දුකද පැන ගොස් ඇතේ

ඔහේ දුව ඇදෙයි ඇස්,
අකුරු අතරින් පොතේ
එද පිටු පුරාවට,
ලියූ කවි එහි නැතේ
සිටිය හැකි මුත්,
සතුට සුව නැතුව හදවතේ
දුකද නැති කල,
කෙලෙස ගෙවනු මේ ජීවිතේ

Monday, June 13, 2011

නර"පණුවෝ"


ඔසවන තුරුණු ගත ගෙන දී වෙර බෝම
කොඳුඇට එකින් එක හෙමිහිට නොදැනීම
හොරු ගෙන යතත්, හුරු වී ඇත නිදියෑම
බිහිවෙයි නියම නර "පණුවන්" නුදුරේම

මෙරු ඇවිත්...


තටු දුන්න පොළව අතහැර
උඩයන්න ඇදෙන මෙරු රැල
නවතන්න ලිහිණි තුඩු හැර
පියඹන්න එන්න සුමිතුර

පිනට ලබුනු තටු දිග හැර
වියරු ලෙස නගන පෙළහර
කරනු උන් ගමන කෙළවර
නුඹට තව කුමට අවසර

Sunday, June 12, 2011

සුදු නෙලුම...


පිනි පොදට තෙමි තෙමී,
පිපුනු හිමිදිරියේම...
සුදු නෙලුම තව හැඩයි,
පෙති මලට ඇලුනාම...
පෙඟුනු පෙති තුඩු අගින,
මල් කෙමිය පෙනුනාම...
සිඹින්නට හිත කියයි,
මලට වත් නොකියාම...

Wednesday, June 8, 2011

නොලියූ කව...


සුදු පාට පත් ඉරුව...
වසාගත් හිස්කමම...
ලියන්නට පෙර අතුව...
කියයි කවියේ අරුත...

Tuesday, June 7, 2011

නිදන ඇස...


කිසිදා නොනගිනා මුත්
පුර හඳ අහස...
කිසිවෙකු නොහඳුනන මුදු
සුසුමක පහස...
කිසිලෙස එලි නොවන සිහිනෙක
නිදන ඇස...
කිසිවිට අවදි නොකරමි
තව නිදනු මිස...

Tuesday, May 24, 2011

කියන්න...


නොතෙරෙන විලස නුඹ,
මගේ සිත සිඹිනවද...
නොතේරුම් කමට මගෙ,
නෙත සිහින දකිනවද...
තොරගනු බැරිව මගෙ,
පෙම තවම රැඳෙනවද...
තේරවිලි පද පෙරළි,
නැතුව මට කියනවද...

Friday, May 20, 2011

පිදුම...


කඳුලු පිස මගෙ නෙතේ,
සිනහ මුව අග තියා...
සුසුම් රැඳි හදවතේ,
පැතුම් ගෙනැවිත් ලියා...
මගේ දුක නුඹ අරන්,
සතුට මට දී ගියා...
හිතමිතුරු නුඹේ සිත,
පුදමි කවි මල් තියා...

සිතුවම.....


සිතුවමකි නුඹේ රුව, 
 මගේ හදබිත ඇඳුනු.....
  සිහිනයකි නුඹේ පෙම, 
කිසි දිනක එලි නොවුනු.... 
මකා කටුගෑ නොහැක, 
 වේවි හදවත සිදුරු.... 
 බලා ඉම් කඳුලින්ම, 
 බොඳ වෙලා මැකෙන තුරු....

මතක සුලඟ.....



අතීතයෙ මතක සුලඟ,
හිත හිරිගඩු නගන වෙලේ...
තුරුල කර ගනිමි දෑතින්,
මගෙ හිස අද මගෙම ලයේ...
අනාරාධිතව ඇවිදින්,
රිදුම් දෙයි සුවඳ නුඹගේ...
වසන් කෝම දොරගුලු මම,
ඉතින් නැවතියන් සුලඟේ...

පලා ගිය මගෙ සිත...


බිඳී විසිරෙනු යදම්,
කිසිවෙකුත් නොදුටුවේ...
කැඩී සුන් වෙලා ඇත,
අගුල මහ දොරටුවේ...
මමම ඉදිකල,
සිපිරි ගෙදර අද පලුවේ...
පලා ගිය මගෙ සිත,
සොය දෙනු සොඳුරියෙ...

හීන හිම කැට....


ආදරේට ඇහිපිය යට,
තියන් උන් හීන හිම කැට....
දරා ගන්න බැරි තරමට,
බර වැඩි උන වෙලාවකට.....
දිය වී එක දෙක හෙමිහිට,
ඟඟක් වෙලා කොපුල දිගට...
ගලා හැලුනි මහ පොවට,
කාටත් නොපෙනෙන විලසට...

විඩාබර සඳ...


විඩාබර සඳ...
මගේ ලඟ හිඳ..
නිදා වැටුනද..
පියා නෙතු කොඳ..

හදේ බැමි බිඳ..
නුරා හද බැඳ..
දිලේ තරු මැද...
පුරා සඳ ලෙද...

ඉතින් හැඬුවා මදිද..


ඉතින් හැඬුවා මදි ද.. 
ඉකි ගසා මගෙ දුකට...
 බොඳ නොකර බොර දියෙන්, 
අඩ අඳුරු රඟහලේ,
 මුණගැහෙන පෙම් හීන...

 ඉවසපන් මං වගෙම, 
හිරකරන් කඳුලු කැට..
 ඉතින් නුඹ,හිත මිතුරු, 
"හන්තන අහස් කුස"

නිහඬ වව්.....!


නිහඬ වව්.....!සැම දෙනම,
උදා වී ඇත යළිත්
නිහඬ විය යුතු යුගය...
නොපෙනුනත්...
පුලුටු ගඳ නංවමින්.
දැවෙන ජීවිත මහමඟ...
නොඇසුනත්...
විලාපෙක හඬ තබා,
සියුම් ඉකියක නදද...
අසන් මා පිය සබඳ,
නිහඬ විය යුතුව ඇත,
සැක නොකර මේ දැන්ම...
නැති උනොත් උන් නුඹව,
නිහඬ කර දමනු ඇත..
සදහටම...
නිහඬවම...!!!

පෙම් සිත........


දලු දමයි නොනැවතී, 
ලපටි පෙම් සිත තවම.... 
සවි වැඩෙයි විහිදුවයි, 
අතු පතර ලඟ ලඟම.... 
හෙට නොහැක සිඳින්නට, 
එවිට වැඩි වෙයි රිදුම.... 
දවා හළු කරනු මැන,
 රවා නෙතඟින් අදම....

වසන්තය ආවත්.....


පිපී කහ මල් යලිත්,
 වසා සරසවි බිමම... 
සැදී තණ පළස,
 සිපගයි වැටෙන හැම මලම... 
තැලී පොඩිවී ගියත්, 
පැතු එකම මල් පැතුම....
 අදත් මල් වැල් යටින්,
 ඇවිද යමි තනිව මම....



Related Posts Plugin for WordPress, Blogger...