Tuesday, November 25, 2014

සඳෙන් අසමි



දිගු සංචාරයට පෙර,
සමුගතිමි

වත්ත පහළින් ගලන
ඇලේ මැඩි මිතුරන්ගෙන්
කුටිය අද්දර තුරු මත
ගී ගැයූ රැහැයියන්ගෙන්

හිරු නිවීගිය කළ
පිටත් වනු පිණිස
කඩුල්ල කරා ආ මට
ඇහෙන නෑහෙන ගාණට
සුසුම්ලන හඬ ඇසුණි
සමුදුන් ලබැඳියන්

වටහාගනිමි එය,
දුකකි පිය විප්පයෝගය

ඒත් ඇයි මේ
පිනි කඳුළු ?
මාත් එක්කම යන
සඳේ ඇස්වල..

Tuesday, November 18, 2014

මධු මත් මතක ...

චන්ද්‍ර මඬල නමට පිදූ
මතක වස්ත්‍ර වළා පොටෙන්
මුවා නොවුණු තරුවක ඇස්
කතා කරනවා..

පාලමෙන් එගොඩ දිලිහෙන
පරාදීසයේ පැහැසර
මීදුමේ ඇලී බොඳ වී
හෙමින් මැකෙනවා..

දෑල දෙගොඩ පඳුරු තලා
මුහුද සොයා දිව එන්නට
ඌලකින් උනන දිය කෙඳි
පාර අහනවා..

ඔබා මධු බඳුන් පතුලක
නුරා විත් ඇනුණු හදවත
බොහෝ දිගු ගැඹුරු නින්දක
කෙනෙක් නිදනවා..



painting by Leonid Pasternak

Saturday, November 1, 2014

ණය


බොහෝ ණයගැති වෙමි 
ඔබ හට,


පැණි වරකා ගස් මුදුන 
අකුණකින් දැදිරි වන්නට 
ඉස්සර .. 
සන්සුන් සුදු වළා කැට 
කුණාටුවකින් කැකෑරෙන්නට 
ඉස්සර ..
නිල් විල් තලය ඇවිලී 
පිළී ගඳ නැගෙන්නට 
ඉස්සර .. 
පළාපෙත්තෙකු ගැන 
බමරෙකුට ඉරිසියා දැනෙන්නට 
ඉස්සර ..

සියුම් මල් පෙත්තක් 
රිදෙන තුරු නැවි නැවී, 
හද රිදුම් පිරිමැදි,
ඒ නිමා වුන ඍතුවට ..

ඔව් , ඒ නමක් නැති ඍතුවට ..

Monday, September 29, 2014

තෙතබරිත හවසක සිතුවිළි

උරහිසත් හිසත් මැද
හිරකරන් පොඩි කුඩය
පොද වැස්ස යටට වී
වලාකුළු බැම්ම ළඟ
මම..
කෝ ඔබ ?

දුම් දමන කඩල මුල
ලොකු වැඩියි තනි අතට
හීල් වෙන්නට ඉස්සර
දැන් එන්න මේ ඉවුරට

පොරි අහුරකින් කිතිකැවුණ
නොඉවසිලිමත් දැඟලිලි
වැව් වතුර මත බොඳවුණු
උරුම නැති ලෝකයක හෙවනැලි

ඇහෙනවද?
මින නුවනක නොගැටී
හීතලේ පෑරෙන
කඩල ඇටයක මැසිවිලි ?

Saturday, September 20, 2014

අසංක්ෂිප්ත අත්පිටපතකින් කොටසක් !!!



සුබ පැතුමකට පුළුවන් ද 
සුව කරන්නට රිදුමක් 
ඇද අකුරකට නැති වෙයි ද 
ඇස පිසින්නට වරමක් 
තරු ඇබින්දකට පුළුවන් ද 
විනිවිදින්නට කළුවක් 
රෑ ගෙවෙන්නෙ ම නැති වෙයි ද 
හිත හදයි ලොකු බොරුවක් 

නග්න පය වැද පෙරලී 
භග්න වුනු හද බඳුනක් 
ලස්සන ම මල් අහුරක් !
ඒ, කල් ඉකුත්වුණු පැතුමක් 
ඇත්ත ..... මම වැරදියි 
අමතක වුණා මොහොතක් 
'ආදරේ' කියන්නෙ ම 
ඉරිසියාබර ගණුදෙනුවක් 

අත්මිදෙන්නට බැරිකම 
අත්දැකීමෙ ම කොටසක් 
අත් ඇලුන හැටි දැක්කම 
අත්තලයි පණ අදින පපුවත්  
අත්සන තියන දවසට 
අත් ඇරෙයි එක නමක් කොහොමත් 
අතින් ගත් රළු සුමුදු එ දෙඅත්  
අනවසරයෙන් ඉඹිමි තාමත් ! 

  


Saturday, August 23, 2014

සිසිරයේ පළමු සන්ධ්‍යාව...

                                 Pix by Manjula Wediwardhana

අකාලේ ඇස් ඇරිය 
සුසුදු ටියුලිප් මලක් 
මිදී නටුවෙන් , මිදුණු 
පොළොව මත දණගසයි 

කැරලි ගැහි ගැහි අවුත් 
කැලරි දියකර දමන 
උකු හුළඟ, තැටිය මත 
කුසගින්න කොතගසයි 

පුරුදු තැන වකුටුවුණු 
නකුටු තනි මකන්නා 
නිහඬ කර නිහඬ බව 
වැරෙන් කන්පට ගසයි 

පත්‍ර ගලවා දැමූ 
නග්න මේපල් තුරක් 
තුරුණු හිම වැස්සකට 
ආයෙමත් අඬගසයි ..! 


Sunday, August 17, 2014

වලාකුළු උපදිනා තැන



පළල් වෙන පාරේ 
වැලමිටි වංගු කෙළවර 
කිසිදාක ගින්දර නොනිමෙන 
වලාකුළු උපදිනා තැන

බිම තබා ඇවිත් කිරි දරුවන් 
කෙසඟ අම්මාවරු 
හුණු කූඩ වඩාගෙන 
දුම් වැදී තැම්බිච්ච මූණ හරවා 
කහට පාටට හිනාවෙන 

'නැගෙන මග' වැඩ හිටපු වරදට 
හණ ගසා අතපය කපාහළ 
රුක් දෙවි මළකඳන් 
ගරුසරුව චිතකයට වඩම්මන 
කුදු ගැහුණු පිරිමි කොඳු 
කලාතුරකින් දිගෑරෙන 

කිළිටි කුණු සේරෝම වහගන්න 
වුවමනා හැමෝටම සෑහෙන්න 
කිළිටි අත්වල කරඟැට
සුදු හුණු හදන අතරේ 
දුම් කවුළු කට 
වලාකුළු උපද්දයි ඇතිවෙන්න 

ජල චක්‍ර පාඩමේ නොකියන 
විෂම චක්‍රයකි නිති කැරෙකෙන 
අවිස්වාසයි නම් තවත් වචන 
ඊගාව වැස්ස එනකල් ඉන්න 

අහස් දිය බිංදුවක තෙතමනය 
හදවතට උනන්නට ඉඩදෙන්න 
ටිකක් ඇස් පියන් එහෙමම ඉන්න 
දිව අගට නොදැනිච්ච 
කටුක දහදිය රහක් 
යන්තමට දැනෙයි එතකොට ඔන්න 

Sunday, August 10, 2014

කියන්න...


පාට ගිය සිහින සලුවක එතෙමින්නේ රෑට යහන පිට උඩුබැල්ලෙන් ඉන්නේ ඈත ඇහෙන පියවර හඩ ලංවෙන්නේ සීත වැඩිකමට ගැස්සී අහැරෙන්නේ
හුළඟක ඇලුණු සුවඳක ඉඟි සොයමින්නේ දොරවල් ජනෙල් කට බලියාගෙන ඉන්නේ සඳවල් පිරි පිරී මැරි මැරි උපදින්නේ තාමත් කොහෙද? මොකටද? හැංගී ඉන්නේ
පංකා තටුව නිසසල බව බිඳිමින්නේ කම්පාවෙන් වගේ දිනපොත පෙරළන්නේ හිස් කොළ මතට දේදුනු පැහැ ඉසිමින්නේ කවද ද ආයෙ කවියක් අරගෙන එන්නේ

Saturday, June 14, 2014

පොසොන් සිරි



දුනු ඊතල කෙටේරි ගෙන අවම බලය පෙන්නා 
දර්ම චක්‍ර වැදි පිරිවර හංදි ගානේ උන්නා 
සොයාගෙන මිනිස් ඉස් ගෙඩි හී සැර ඉගිලෙන්නා 
අලුත දැමූ කාපට් පිට උණු ලේ ඉහිරෙන්නා 

අම්මලාගෙ කඳුලු වලට ගම් බිම් යට වෙන්නා 
රක්ත තප්ත පඬුපුල ලඟ දෙය්යො ගිනි තපින්නා 
වසී බෝල අතේ තියන් මිහිඳු බණ අහන්නා 
හාව අරන් පොසොන් හඳත් තිසා වැවට පැන්නා

Saturday, June 7, 2014

විහඟෙකු දුටුවා ද?



පැණි පිරුණු මල් වලට වාගේම
 
පැණි උරන සමනලුන්ටත් පෙම් කල 
දවසකට දෙකකට අත්විඳි 
අපරිමිත ප්‍රේමයක් පිලිබඳ 
එපාවෙන තරමට ගී කියන 
කටකාර විහඟෙකු දුටුවා ද?

අසම්මත හීන දුටු වරදට 
පින්කාර අත්වලින් 
ගල් මුගුරු පහර දී 
කටු ඔටුනු පැළඳ වූ 
කුරුසිපත් නොකළ මුත් 
හදවතට ඇණ ගැසූ 
පව්කාර විහඟෙකු දුටුවා ද?

මේ කර්කශ ම ඍතුවේ 
කලාතුරකින් හමුවෙන 
කොළපාට තුරු පතක් ගානේ 
තුඩින් ඇන ඇන ලියන 
අදහන්න බැරි ඇත්ත 
අකුරෙන් අකුර අමුණන 
කවිකාර විහඟෙකු දුටුවා ද?

Wednesday, May 14, 2014

කුසිනාරා වඩිති බුදුන් !



දහම් සබා මණ්ඩපයේ 
කවුරුත් නෑ බණ අහන්න 
ඊයේ උන්නු ටිකත් ගිහින් 
කොතක ගලන කිරි බලන්න 

පාට කරපු ගඩොල් පිළිම 
වල රැස් දැක සාදු කියන 
ඇස් මේ මහ කල්පෙදි වත් 
ඇත්තට බුදුරැස් දකී ද? 

නරක් වෙච්ච පින්තුරේක 
දේව බ්‍රහ්ම බෝල දකින 
ඇස් මේ මහ කල්පෙදි වත් 
ඇත්තට දෙවියන් දකී ද ? 

"සාසනේ රකිමු" දෙසමින් 
බීසනේ බීජ වපුරන 
හිස් මිනිසුන්, නසනු මිසක 
ඇත්තට දහමක් රකී ද? 

අසිරිමත් ඇත්ත දකිනට 
තව අය නැති බව දැනගෙන 
සැබවින් බුදු කිස නිමකළ 
ගෝතම හිමි , දෙවැනි වරත් 

කුසිනාරා නුවර බලා 
අකම්පිතව වඩින සේක ! 

Thursday, May 8, 2014

සඳ පැමිණි සඳ



සඳ පැමිණි සඳ ,අවසන 
මහළු ව තිබුනි අරුණ
සවස මැදිවියේ පසුවින
හෙන්දිරික්කා මුහුණු වැහැරුණ

හොඳටෝම යෞවන,
කඩුපුලක් කටපුරා හිනැහින
සඳ බිඳක් තොල අගක දිළිසුන
සඳ ඇඟිලි තුඩු වලින් එසැවින
"හරි රහයි" 
නොදැනීම කෙඳිරින

ඒ හඬට නිදි ඉරට ඇහැරින
ඉරිසියාවෙන් රතට ඇවිළින 
වෙලාවට කලින් වෙනදට එන 
කබ පිටින් කඳු මතින් එසැවින

Tuesday, February 25, 2014

ඉරුණු අහස..

අතොරක් නැතිව ම මල්ටි බැරල් ගහනකොට අපි දැක්කේ කැඩෙන හැටි නාඹර තල් කරටි විතරයි .. ඒ වුනත් ඇත්තට ම හිල් උනේ අපේ නිල් අහසයි.. ඇවිදින බෝම්බ ඇවිදින් බ්ලාස්ට් කරගත්තාම අපි දැක්කේ ඉහිරිච්ච ඔළු, අත්, කකුල් විතරයි.. ඒ වුනත් ඇත්තට ම හිල් උනේ අපේ නිල් අහසයි.. "දේවෝ වස්සතු කාලෙන" පිකර් කටින් කිව්වට වස්සන්ඩ වතුර ටික කොහේ එකතු කරන්ඩ ද ඔය හිල් වෙච්ච අහසේ දෙවියෝ උනත් දැන් අසරණයි ! මේ නියං කරදර අකල් වැහි ඒකයි මහන්නට හදුවොතින් දැන් ඔය ඉරුණු තැන් ටික අයෙමත් තුවාලේ අලුත් වෙනවා තමයි .. ඒ වුනත් ආකහේ හූල්ලන එකවත් නවතියි ...!

Sunday, February 9, 2014

ඇවිත් යන්න..

සතුට යනු කුමක් දැයි 
හරියටම දැනගන්න 
ඉගිල 'ඒ' මායිමෙන් 
සරසවිය වෙත එන්න...
පිනි වැටෙන සැඳෑවක
පටු මඟක ඇවිද ගොස්
රොබරෝසියා මලක්
සීරුවට සිපගන්න...

ජීවිතය කුමක් දැයි
හරියටම දැනගන්න 
රළු පොළොව මත කෙලින්
දිගු ගමන අරඹන්න...
හති දැනුනු, පය රිදුනු
ඇද වැටුනු වෙලාවට
සහෝදර අත් පහුරු
වෙලෙනයුරු දැකගන්න...

වියෝ දුක කුමක් දැයි
හරියටම දැනගන්න
මේ සොඳුරු බිම් පෙදෙස
හැර යන්න සැරසෙන්න...
ගලහ හංදිය ලඟදි
මතු දාක හෙලනු වස් 
හන්තාන තරම් බර 
සුසුමක් අරන් යන්න...

Saturday, February 1, 2014

ඇරයුම්..



නායේ ගියපු පොත් කන්ද ට 
යට වී නොමැරී තිබුන ද 
තැලී සව් පතක් තරමට 
තුනී වෙලා ඇත හදවත 

හැඩ තල හැම සමතල වී 
ගනකම අඩුවී හොඳටම 
පැතලි වෙලා ඇත හදවත 

ගිනියම් හුළඟට පැටලී 
තෝන්තු වී ඇත හදවත 
වසා අඩ අඳුරු කුටිය ම 
උඩුබැල්ලෙන් නිදි හදවත 

.............

සත් කුළු පව් තරණය කර 
ඔබ දැන් පැමිණිය යුතුවැත 
සිලිටි දෙපා කඩිනම් කොට 
සැනෙකින් පැමිණිය යුතුවැත
සත් සමුදුරු දිය පිහිනා 
ඔබ දැන් පැමිණිය යුතුවැත 
කිඳුරු වරළ රළ සලමින් 
සැනෙකින් පැමිණිය යුතුවැත

බුහුටි ඇඟිලි තුඩු දිගහැර 
අත්ලට අරගත යුතුවැත
හදක හැඩය යළි මතුකොට 
පණ නල තැවරිය යුතුවැත

ඉන්පසු එහි උපදින කව 
මා හා විඳ ගත යුතුවැත.. 

Tuesday, January 28, 2014

?????


සිතිවිලි පාට හඳුනන 
තෙලි තුඩ පුරුදු අතකට 
පපුවක් සිදුරු කරනට 
අසිපත් තුඩක් කුමකට? 

දෙවියන් මැරුණු යුගයක 
මිනිසුන් යලිත් මවනට 
කවියන්ට පෑනෙන් මිස 
අවියෙන් හරඹ කුමකට? 

හදවත් තියෙන, ඇහැරුණ 
වැසියන් මිසක රටකට 
"උතුමන්" අණට අවනත 
සෙබළුන් තවත් කුමකට? 

Monday, January 20, 2014

කවි කැකුළු (5)



කඳු පෙළ මතට හවසට 
ඇද වැටෙන්නට නියමිත 
තද දම් අහස නළියන 
සරුංගලයක සුද
පෙනෙයි, 
පොත් මේසය ලඟට ..

"සරසවි දිවියේ
අවසාන දෙදවස".

Saturday, January 18, 2014

කවියාගේ පෙම්වතිය

"රට වටේ ගෑනුන්ට" 

ඔහු ලියන පද වැනුම් 

ඉරිසියා නැති ඇහෙන් බලන්නී...

 

වතාවක් ඈ නමට 

ලියා එවූ පද හතර 

රන් පිඩක් සේ තවම රකින්නී...

 

ගටගැහුණු , පටලැවුණු 

අකුරු එකිනෙක ලිහා 

එළිවැට ලඟින් පෙලට තබන්නී...

 

ඉඩ පිරුණු, ලොකු හිතක 

නිදහසේ ඇවිදිමින් 

සැලමුතු පෙමක මිහිර විඳින්නී..

Tuesday, January 14, 2014

ඒත් නොරිකෝ.,


 පොතේ හැටිය ට 
කබුකි , නෝ නැතුවට 
වලේ නළුවක රසින් ඉපිලී 
රිදෙන තුරු තැලුම ට 
අපට අත්පොඩි තිබුනා 

කඩදාසි ලන්තෑරුම් වල 
මද මුදු එලිය නැතුවට 
තුරු වියන අතරින් පෙරී ආ 
ලස්සන ම හඳ රැස් බිංදු 
පොළොන්නරුවට වැටුනා 

පසුබිමෙන් ස්වර වැයෙනා 
අවන් හල් වල කෝපි නැතුවට 
නුවර ටවුමෙ දි තිබහ දැනුන ම 
සීත කෝලා පෙන කැට 
අපේ තොල කට තෙමුවා 

"ඉක්මනින් හොයාගන්න 
ඔයාට ගැලපෙන කෙනෙක්,
පුරුදු වෙයි නැත්තන් 
නරක දේවල් වලට  "
පොතේ නැති දෙබසක් 
ඈ අන්තිමට කිව්වා  

"සකේ" උගුරක ට 
"ගේෂා" ගීයක ට
උඹේ අඩුව පුරවන්න බැරි බව 
මං දැනන් හිටියා 

එත් නොරිකෝ 
ඒ "නරක" දේ වලින් 
පොඩ්ඩකට හරි 
රිදෙන හිත හිරි වැටුනා .. 

Thursday, January 2, 2014

පහනක් විතරක්..


පොත් පිටු පෙරලා 
අකුරු අහුලලා 
එනකොට හොඳට ම හවස් වෙලා..
දළදා මළුව ට 
කිරි ගඟ ගලලා 
උඩු මාලෙට දුර හුඟක් වෙලා..
ඕලු නෙලුම් 
නිල් මානෙල් වතුසුදු 
සේරම පුදසුන් මත පිදිලා..
ඉස්සර වාගේම 
මේ භවයෙත් මම 
පහනක් විතරක් පත්තු කළා..
Related Posts Plugin for WordPress, Blogger...