Tuesday, May 31, 2016

පමා වූ අලුයම




ඔහේ ඉර හඳ පායා
මැරී වැළලුණ දවසක
කොහේ හරි ගුලිවී
හීන තොල ගෑ හවසක..
බඹර තුඩගක පැටලී
ඇඟිලි ඉදිමුණ මොහොතක
පන්හිඳ ඉකි ගැසූ
කඩදාසි කඳුළු බිව් යුගයක

කෙළවර උදාවිය
පමා වූ අලුයම
පෙරඹර සුරත් පෑ ගෙන
ගලාගෙන ආ උණුහුම

හපා කොටකර මිස
කපා නැති , මතක ඇති දවසක
හිනා වෙයි සුදු මල් 
වැවී එන නිය අහුරක

Saturday, May 28, 2016

බිඳුණු කැඩපත


ගෙයින් එළිය ට බැස
දෙපයින් ඇවිද එන විට
කඩුල්ල ලඟදි අම්මා
දෝතින් දුන්න වස්තුව

සීයගෙත්  සීය ට
වගෙ ම වෙනසක් නැතිව ම
බැලූ හැම විට මට
මාව පෙන්නූ කැඩපත

බර පොත් මිටි උසට
පොටෝ කොපි පිරිවර කොට
තිබූ පාඩම් මේසය
ඇදපු දා ඇඳ අසලට

සැනින් පැන පොළොවට
කැබලිවී උඩුබැල්ලට
අහුලන්න ගිය විට
කැපුනි හද රේඛාව හරහට

රාමුව පමණි දැන්
ඒ ඇණයේම එල්ලුන
කිළිටි බිත්තිය විතරක්
රවුම් කර කර පෙන්නන

ඒ වුනත් එකපාරට
විසිකරන්නේ කොහොමද
උරුමය නොවෙද එය
මගේ නූපන් පුතු හට??







Friday, May 20, 2016

සුබ උදැසන

කළු කූඹි 
හාදු මැද
නිදි කිරයි
තේ බඳුන .. 
රැවුළු කොට  
තව ටිකක්
දික්වෙලා 
වෙනසකට..
වහලේ උළු
අත ගගා 
වැහි සිදුරු
හොයාගෙන..
රිංගලා ඉර,
අදත් ඇහැරවයි 
ඇහැට ඇන! 
Related Posts Plugin for WordPress, Blogger...