Saturday, June 30, 2012

නික්ම යන සියොතුනේ..

හික්මී හැඳින සරසවි සෙවනෙහි සිරියා
එක්වී සතුට දුක, සතුටින් විඳ සිටියා
ඉක්මී හෙමින් කාලය කාටත් නොකියා
නික්මී යන්න සැරසෙන දවසත් වැඩියා

කළඹා සිප් සයුරු දැනුමෙහි මුතු අහුලා
ගෙල ලා ඇත ඔබේ මුලු දිවියම ඔප ලා
හඬනා නෙතක ගලනා කඳුලැල් පිසලා
කරනා මෙහෙය සිතසුව දෙනු ඇත පෙරළා

ගයනා තුරා රෑනේ සියොතුන් සින්ඳූ
මැකිලා නොයයි සුමියුරු මතකය රැන්දූ
හමනා සුළඟ සුවඳට බමරුන් කැන්දූ
සැමදා ගෙනෙයි සොහොයුරු පෙම හද රැන්ඳූ

නෙක කම් කටොලු බාදක දිරියෙන් පළවා
විඳ මිස සොඳුරු ලෙස, නැත සිටියේ විඳවා
ලද ඒ සවිය යලි යලි සිහියට කැඳවා
දිනනා හෙට ඔබෙයි, ලොව ජය දද බඳවා

Wednesday, June 27, 2012

නිවීම..

ගලා යන ගං දියෙන්, එකම එක දෝතක්..
ගත්තාට මක් වේ ද,
පොඟවන්න,
දාහයෙන් ඉරිතැලුණු දෙතොලක්...

බූලි කලගෙඩි පුරන, සෙනඟ අතරින් මිදී,
සොයා සැරි සැරූවෙමි,
බොර නැති දියත්තක්...

දෝතින්ම ලඟට ගෙන,
 සිහිලැති දිය පතක්...
තෙමා හැරියෙමි පවස, ගෙවී යන්නත් කලින්,
මොහොතකින් මොහොතක්...

ඉතිරිය අතැර, ගං දිය මතට ආයෙත්...
ගොඩ වුනෙමි පහු කරන්,
තවම තොටුපළ අසල, බඳුන් දිය පුරෝනා,
පිපාසිත මිනිස් රූ දහසක්...



Saturday, June 16, 2012

අවසාන පුරුක ව...

දම්වැල අග අපූරුවට
එල්ලී යන්තම් ඉහලට
පැද්දි පැද්දි සහැල්ලුවට
ඉන්නවා වගේ පෙනුනට.. 

නිතරම කටු ඇනෙයි ඇහැට
පෑස්සී තදින් දෙපසට
වැජඹෙනා ඉහල කදිමට
නොසැලෙනා පුරුක් දුටු විට..

Thursday, June 14, 2012

වස්සානයක ඇරඹුම..


වැහිකුලක් එන තුරා,
මග බැලූ කාලයක්...
නෙත් කවුළුවෙන් එබී,
සිය හස් වාරයක්..
හැම රැයේ, දහවලේ,
දුටුවෙ එක හීනයක්...
ආයෙ නම් එන්නෙපා,
එහෙම ගිම්හානයක්...

Saturday, June 9, 2012

රුපියල..

පය ගසා පොළොවට
යනෙන අප අමතක කොට
පාව ගොස් අහසට
පාවෙනා උන් අසලට

Monday, June 4, 2012

මොහොතක් ඉන්න..

වචනයක් ගෙනියන්න,
ඇවිත් ඔබ ලඟ ඉන්න,
මගේ පණිවිඩ ගොන්න,
මකා විසිකරලන්න
එපා, මොහොතක් ඉන්න..

බැරිද ආපිට දෙන්න,
හිතේ කොනකට වෙන්න,
ගොඩ ගසා දල්වන්න,
චිතකයේ සැතපෙන්න,
මග බල බලා ඉන්න,
හීන පොදි අළුවෙන්න...

Sunday, June 3, 2012

අරුත් බර වෙසඟ...

අරුත් බර සැණකෙලිය,
වෙසක් පෝ දා තිබුන...
බලන්නට යා යුතුම,
නිවන් යනු රිසි සුදන..

කුමට පැකිළෙනු ඉතින,
දිලෙමු විසිතුරු වතින..
සර්පයින් ගුලි ගැහුන,

පසුම්බිය අතට ගෙන..

මෙරිගෝ රවුන්ඩ්,
රැය පුරා, නොනැවතී බමණ..
සංසාර චක්කරේ,
කැරකෙනා හැටි කියන..

හොල්මන් ගුහා නිතොර,
ගන කලුවරින් පිරුන..
මෝහාන්ධකාරයේ,
රුදුර පිලිබිඹු කරන..

නොයෙක් ඇස්බැන්ඳුම්ය,
මඩු කොනෙක වට කෙරුන..
පෙනෙන හැම දෙයෙහි ඇති,
මායාව දිගහරින..

කෙලක් විසිතුරු බඩුය,
වෙළඳ කුටි තුල පිරුණ..
දිනෙන් කුණු ගොඩට පැන,
අනිත්‍යය තිර කරන..
 

නටති ඔලුබක්කන් ද,
යනෙන මග ඇඟට පැන..
ඉදිමුණු හිසෙන් රඟන,
වියරුවෙහි රඟ පෙනෙන..

නොදැන සැඟවුනු අරුත,
පිරිස් වෙති දෙස් නගන..
පිනැති දන පෙළට විත්,
හිටිවනම නිවන් යන..

හරි අමුතු හිතුවිලි..

අමුතු පුසුඹක් ඇවිත්,
ඉවකරයි
මුළු හිත
හිමිදිරි හුස්ම පොදකට,
ඇරුණ ලය මඬලත
අහු මුලු කිසිත් නෑර 
හරි මිහිරි අරුණක..
 
නොවිඳි හීතක් හමා,
ඇවිත් නොසිතූ විට
දාහයෙන් ගිණි ගැනුනු,
ජීවිතය පතුලට,
හිම වැටෙන්නත් අරන්
වියළි දුහුවිලි පිට..
ගිම්හාන දහවලක,
හරි පුදුම විදියට

මිදුනු නෙත් කෙමි මත,
හරි අමුතු මුතු කැට
කැටි ගැහී බිම වැටී,
හෙමෙන් බිඳෙනා විට
හරි සොඳුරු ස්වරයකින්,
කථා කෙරුවා මට
තෙමි තෙමී හිඳින්නට
,
වහින පිනි වැහි යට
මල් පිපෙන හවසට

ගනකමට ගලා එන,
උමතු හඳ එළියට
හාදවී හදවත
වළාකුලු දුල් වත,
ලිහී විත් හුළඟට,
සිඹින සඳ
මුහුණත..
වෙවුලනා දෑතකින්,
වැසී නොවැසී තිබුනි,
සලු ලිහුනු සඳවත









Saturday, June 2, 2012

ඉරණම...

පෙරුමන් පුරා අහසින් ගැලවී වැටුන
පිනි බිඳ ලැගුම් ඉල්ලූ තුරු හිස් මුදු
ඉඩ නොම ලදින් අත්තෙන් අත්තට ගලන
බොල් පොළවෙහි ගිලී මියැදෙන්නට පතන
Related Posts Plugin for WordPress, Blogger...