Sunday, July 28, 2013

ලිලිපුට්ටෝ


මරණයේ යෝද කය
හෙලූ හෙවනැල්ල යට
අපි...
අසරණ ලිලිපුට්ටන්..
බේත් හේත්, වෙද හෙද කම්
ඉදිකටු කඩු කිණිසි රැගෙන..
යුද සැලසුම් සකසනු දැක
දුටුවෙද අවමන් සිනහව
ගලිවර මුහුණත මතුවුන..

ඉදින් මා කවියෙකු විය..



අමුතුවෙන් නොහිතා 
වැඩි යමක් 
ඔහේ කටු ගෑවෙමි..
බොහෝ දේ..

මා දකින ඇසිල්ලෙන් 
මලක් සේ පිපී ආ,
සඳ කිඳුරු මුව ගැන..
දෝතින්ම ගෙන මගේ 
නොවටිනා තිළිණයක්,
මහා මෙරක් ලද ලෙසින් 
විස්මයෙන් ඉස්සුණු ඇස් ගැන..
එකම එක වතාවක් 
සීතලට දැනුණු, මුදු 
ලපටි නා දළු ගැන...
අහිමි කරගෙන ඒ හැම,
අකාලේ මියගොසින් 
අපාගත වූ මගේම හිත ගැන..

නුඹ ද, ඒ මතකය ද..
කවියක් ම විය..
ඉදින් මා කවියෙකු විය.

සීතල ගමනාන්තය



ලෙහාගෙන 
දෙතොල් පැටලුම්, 
අදට සමුදී 
අවසාන අසුනට ,
වීසි කර කාණුවට 
තවත් දුර යන්න බැරි 
ටිකට්..
ඇවිළෙන දුලී අතරින් 
බොඳවී දුරස් වෙයි ,

අඩකින් නිවුණු ..
පෙම්වත් සිරුරු.. 

නොමියෙන මතක



කෙලෙස සම කරන්න ද 
ඔබ, සුපිපි මලකට..
රුව සුවඳ තිබුනාට,
මියෙනතුරු මට මතක,
මිහිරිතම උණුහුම..
අඩු නිසා මල් පෙති ළඟ..

කෙලෙස සම කරන්න ද 
ඔබ, සරා සඳකට...
මුදු එලිය හැලුවාට,
මියෙනතුරු මට මතක ,
හිත පිරෙන සිනහව..
අඩු නිසා සඳවත ළඟ..

කෙලෙස ගී ලියන්න ද 
තවත් නම් නුඹ හට..
සියක් පද හිතුනාට, 
මියෙන තුරු මට මතක 
ඒ මියුරුතම වදන..
අඩු නිසා කවි හිත ළඟ.. 

නිදි නැති රැයක


සඳ බොඳ වෙලා..මැකෙමින් 
තරු ගිලිහිලා..
හුරුපුරුදු කඳුලක් 
නෙතගේ..
මග බල බලා ...

පිණි ගැලවිලා.. අහසින් 
බිම ඉහිරිලා..
දිව ගිලුණු පොලවේ 
වැතිරී..
සරදම් කළා..

සීතල ගලා.. ඇවිදින්
සියොළඟ වෙලා..
උණුහුම් සිතුම් යලි 
කලතා.. 
රැය දිගු කළා..

ඉගිල්ලෙන මාලු ?


තහනම් කල යුතුය 
මේ අහස උන් හට, නිසැකවම 
සියොතුනට කල ලෙසටම...

ඉගිල්ලෙන අතර තුර 
සුළු දිය බිම හෙලා 
කැත කෙරුවොතින් හෙම 
දූපත වැහෙන්නම එලූ 
අගේ ඇති කැමා සළුපට...

නික්ම යමි



අන්න ඈතින් පෙනෙයි 
අවසාන දුර්ගයට එපිටින් 
ආ මගෙහි 
කෙලවර..
මුදාලන මා 
මේ රුදු ගමන් වෙහෙසින්..

ඉර හෙවිලි කර ඉහට 
හඳ අවුළුවා රෑ ට
නොනැවතී යා යුතුය 
නොබලා ම වට පිට..
පමාවට කොහොමවත් 
සමාවක් නැතිකොට..

ඉදිරියෙන් හුඟක් 
පසුපසින් ටිකක් 
මගියෝම වෙති තවත් 
මා වැනිම.. මිරිකුණ..
හිනැහෙන හඬන 
හැටි පවා.. 
ඇතැමෙකුට අමතක වුන.

ඉදින් මා නික්ම යමි..
පුරුදු බර කරට ගෙන,
සොයා ඒ නැවතුම ..

දැන දැන වුව ද එය 
අලුත් වෙහෙසක 
වෙනස් රිදුමක 
තවත් එක 
ඇරඹුමක් පමණක් බව...

යදියෝ


ටික දෙනෙකි 
වැරහැලි වතින් 
පන්සලේ 
දොරකඩ..

මහා ගොඩකි,
සුදු වතින් 
බෝ සමිඳු 
අබියස.. 

හිම පියල්ලක්




සීත බටහිර 
අහසගින් 
බිමට බට 
සුසුදු හිම පියල්ලක්
පාව යයි 
ඔබ 
මොබ ..

උණුසුම් 

පෙරදිග සුළං රැලි  මැද 

රතට හැරෙමින් 
දියවෙයි, 
ටිකෙන් ටික ,
සිසිර නින්දෙන් 
සුදුමැලිව 
ගල් ගැසී තිබු 
මහද..

හරි පුදුම හිර ගෙදර



අසිරිමත් නිමැවුමකි,
කලක් තිස්සේ තනා 
ළඟක දී වැඩ නිම කල..

වැට කඩොලු 
මුර කපොලු 
මහ පවුරු, 
නිදහස් මතින් නළියන 
'නැහැදිච්ච' උන්ට 
විතරක්ම පෙනෙන 

සිරගත බවක් නොම දත්
මිලියන ගණන් 
රැඳවියන්,
බරපතල වැඩ අතර 
ලැබෙන මද ඉසිඹුවේ 
දෙන දෙයක් වළඳන්න 
තැටි අරන් 
හැඳි අතැති අය සොයා 
පෝලිමේ ගාටන 

මායිම් වෙරල අසබඩ 
ලෝකෙටම පෙනෙන උසකින් 
මහ පුවරුවක ලියවුන 
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ" 
යන වග... 

හැන්දෑ කව


සිහිල් තුරු වදුළු යට 
වැටුණු මල් සිනාසෙයි.. 
වෙරළ කුඩා මුවාවෙහි 
කිරි කාවඩි කතාවෙයි ..
රඟහලෙහි රහස් කියු 
මඳ අඳුර මතක් වෙයි..
මහළු ඉරබටු තරුව 
සිතිජ ඉම මියෑදෙයි..

නොපිපි මල සොයා


පිපෙනු පින් මඳ වුවද උපන් දූපත මත 
ඉඩ හසර කොතරම් ද මේ විසල් මිහිකත 
එන දිනෙක සුවඳ අරගෙන වඩින හදවෙත 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

ෆුජි කඳු මුදුන ඈතින් පෙනෙන මානෙක 
ඇවිලෙනා වැලි කතර ක්ෂේම බිම් හෙවනක 
යකඩ අයිෆල් ඇසට අසුවනා නගරෙක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

ඇලවෙනා කුලුන අසබඩ ගෙවතු උයනක 
සොඳුරු වැසි වනපෙතක ඇස නොගැසි පෙදෙසක 
තණබිමක ගොපළු ගී ඇසෙන ගං ඉවුරක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

තටු හැලී කුරුළු හද මියෙන තුරු දවසක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

Friday, July 12, 2013

තොටුපොල අද්දර

දිගු කල පා ඇඟිලි තුඩින් 
නිසසල නිල් දිය මතුපිට 
කවියක් කර ඔබ ලියුවිට 
මිහිර ආදරේ..

අහුලන් ගල් කැට එක එක 
විසිකර ඉගැඹුරු පතුලට 
කැලතුන රළ ගෙන මැව්වෙමි 
රිදුම් ආදරේ..

තවමත් තොටුපොල අද්දර 
ඉඳහිට තනිවෙන හවසට 
ඇඳී මැකෙනයුරු විඳිනෙමි 
අපේ ආදරේ..
Related Posts Plugin for WordPress, Blogger...