Tuesday, February 26, 2013

එක වගේ මල්..

වාට්ටුවෙ ඇඳන් උඩ
පෝළිමට පිපී තිබු
ලා රෝස මල් කැකුළු
කිරි සුවඳ ඉහිරවන..
එකම බාසාවකින්  
නිතර මොනවද කියන..
එක තරම් ලස්සනට
සිහිනයෙන් හිනාවෙන..

නලලත ලොකු පොට්ටු තියපු
මොට්ටැක්කිළි ඔලුව වහපු
පිරිත් නූල් අතේ බැඳපු
කුරුස මාල කරේ ලාපු

අම්මලාගෙ ඇස් තෙම තෙම
එක වගේම ආදරයෙන්

Wednesday, February 20, 2013

කවියක් බිමින් තබමි..

දැන දැනම ඇනෙන බව
කටු තියුණු, ගල් බොරළු,
එහෙ මෙහේ ඇවිද යමි
නිරුවත් සිතින් සැරසී

පැසවන්න ඉඩ හරිමි 
නොබලාම රිදෙන තැන්,
ඉවසාන ඇදුම්කන 
වේදනාවන්, හිනැහී

පැමිණි කළ නිසි දවස
පළා සැත් පිහි තුඩින්,
පණ ගැහෙන ලේ පාට
කවියක් බිමින් තබමී





Sunday, February 17, 2013

මොකක් දෝ අඩුවක්..

රිදෙන තරමට බිමට
ලොකු උනත් වැහි කැට
මොකක් දෝ අඩුවක් ය
පණ අදියි උල්පත

අහසෙ ඉඩ නොතියාම
ඉහිරුණත් තරු කැට
මොකක්දෝ අඩුවක් ය
සඳ නැතිව එළිය ට

අත වනයි අතු අගින්
රොබරෝසියා මට
මොකක් දෝ අඩුවක් ය
පෙති ගිහින් හුළඟට

නිදි ඇඳේ ගුලි ගැහී
හීන බැලුවත් හිත
මොකක් දෝ අඩුවක් ය
දැනෙන, ඇහැරෙනකොට







Thursday, February 14, 2013

මාත් හරි ආදරෙයි

කිටි කිටියෙ හිරවුනු
කාල සටහන අතර
හදාගෙන පොඩි ඉඩක්
මුණගැහී කොහොම හරි,
හාදුවක් ඉල්ලගන්න
තවත් එක් හේතුවක්
විතරක් ම නම් ඈට..
මාත් හරි ආදරෙයි
වැලන්ටයින්....!

Monday, February 11, 2013

ලුණු රහ කවියක්..

මතක ද? 
දවසක හවසක
හති දාගෙන
මං ආවා 
උඹ බලන්න

ඉහින් කනින් ගලා ආපු
දහඩිය වත් හෝදගන්න
වෙලා නැතිව
දුවගෙන
දුවගෙන
දුවගෙන

වෙනද වගෙම
ඇහෙන් ගොඩක්
මුවින් ටිකක්
අහන කියන කතා ගොඩක
මං උන්නේ ආසාවෙන්
පැටළීගෙන

පියඹා ආ රතැඟිල්ලක්
මගේ කම්මුලක වැහැව්වෙ
එක පාරට

ඔයාගෙ මූණත් ඇලෙනව
දාඩියට ද?
ලැජ්ජාවෙන් බිම බැලුවා
මගෙ ඇස් දෙක..

යාන්තමට වගෙ දැනුනා
සියුමැළි රතදර සිසිළස
ඒ දාඩිය රැඳි කොපුලත

දරාගන්න බැරිතරමට
ලුණු රස ඇති ඒ හාදුව
හිනාවෙලා උඹ බැලුවට
ආදරේට..

අරන් ගිහින් තියාගන්න
මට හිතුනා,
සූකිරි කන්දක් පාමුල
සීතල හිම කිරම පතුරු
මාළිගේක
උඹ සදහට

අපි වෙන්වුන ඒ දවසෙත්
මං පැතුවෙම කොතනක හරි
පහළ වෙන්න ඒ සේරම
උඹේ නමට

ඒත් ඊයෙ තමයි දන්නෙ
ගිනි අව්වක පිච්චි පිච්චි
උඹ වැටිලලු ලේවායක
පාමුල, ලුණු කඳු යායක

අර වගේම හිනා වෙවී
ආදරේට..




Saturday, February 9, 2013

ලෝබකම



බොහෝ බර ය සමහර හිතිවිලි හිතට
දමා යන්ට ලෝබයි එහෙත් විසි කොට
සිනාවකට මුව ඉඩ නැති වෙලාවට
වටී කඳුළු මහ මෙරකට වඩා මට

Thursday, February 7, 2013

කැටපෝල සහ පිස්තෝල

සීයා හදා දුන්නු
කැට පෝලයෙන් ගලක්
බට්ටිච්චෙකුට මානයි
පොඩි පුතා

දිළිහෙන, දුබල ඇස් වලින්
බලන්, අර ඒ දිහා

පොඩි උන් අතට දෙන්න
එපා ඔය ආයුද
කියා ඊයේ හවස,
මං ගෙනා කැප් රෝල්
පිස්තෝලෙ, හන්ගාපු
තාත්තා..

Monday, February 4, 2013

ලස්සනම කඳුල..

සයිරන් නදින් ඇහැරුණු
නිදි වැදී හුන් මතකය
ඉස්සරම දවසක හැලුනු
ඒ ලස්සනම කඳුල ය

සුදෝ සුදු සිහිනය
තවමත් එදා වගෙ ම ය
සැඳෑ අවු රස්නය
වැදී ලා රත් පාට ය

කිසිත් නොදැනෙන ගාන   ය
කතා බහ පෙර වාගෙ        ය
අරන් ගිය කවි ඈ ගෙ        ය
තියා ගිය හුරු සුසුම මාගෙ  ය




Sunday, February 3, 2013

ලේ..


නොදැක ඉන්නට බැරි ද මන්දා
කලක් තිස්සෙම දකපු     හන්දා
ආයෙමත් ඇස කඳුළු     කැන්දා
ගලයිදෝ යළි හෙට       අනිද්දා


Saturday, February 2, 2013

පරෙවි කිරිල්ලියේ..

පියාඹන්න, මම සිත් සේ
ඉඩ දුන්නේ නුඹට
අරන් නෙවෙයි පය පැටලූ
නූල් පොටක් අතට
පාව ගිහින් අහස පුරා
ආව දවස් ලඟට
සිහිවෙනවැති, කූඩුව තුළ
කල් හරිනා කලට
Related Posts Plugin for WordPress, Blogger...