Wednesday, March 30, 2016

වැහිවලට ඉස්සර..


සීතකළ අවන්හල සීතලම කෙලවරක හීතලට ගෑවෙවී ඉඳගන්න, ඇඟිලි දිග හිමකිරම දිය වෙවී ගලනයුරු විඳගන්න ලජුබරව බිම බැලෙන රතු ගැහෙන මුහුණ ළඟ කැපුචිනෝ උගුරකින් පිච්චෙන්න කඳු මුදුනකින් ගෙනා මඟ වෙහෙස කසල බඳුනෙහිලන්න සංවහන වැසිවලට ඉස්සර ඉස්පාසුවක් වෙයිද හමුවෙන්න? කවුරුවත් නොකියවූ ගිම්හාන කවි, එකම හුස්මකට හුවමාරු කරගන්න...

Friday, March 25, 2016

යථාවත



අන්වීක්ෂ - දුරේක්ෂ
පසෙක ලා මෙහි එන්න
මේ විසල් කැඩපතින් 
යථාවත දැකගන්න 

අපි අපේ තරමින් ම
ඒ තරම් දුරකින් ම

අර ඉන්න අපූරුව! 

ප:ලි :-

වම දකුණ - දකුණ වම
වෙනස් බව දැනගන්න



Wednesday, March 23, 2016

ජිවිතේ හරි රහයි!



මොනොසෝඩියම් ග්ලුටමේට්
දෝතක්ම අරගමි,

උගුරට දෙකට ගිලගමි..


සිහි නැතිවෙන්න ඉස්සර
“ජීවිතේ හරි රහයි” පවසමි!

Friday, March 4, 2016

මේ සා විකල් නගරෙක

තොග ගනන් මිනිස් - හිස් පණපිටින් තම්බන බම්බු අස්සෙන් විදින හුමාලෙට හුලඟකැ'යි පැවසෙන
උයන් බැම්මෙන් එපිට ඇස් ඇර බැලූ වරදට කාරා ගැසූ කෙළ තලි පිපි එන මල් මුහුණු මතුපිට
පල් දියෙහි රැලි මතුකොට ඉබාගාතේ පීනන හංසයෝ ගිල දැමූ පණුවන්ය - නර දුගඳ නොදැනෙන
දියපට්ට මතුවුණ පස්සාපැති පෝලිමේ අරගෙන බොහෝ සක් දෙවිවරු ඉස්පිරිතාල ගතකළ
මේ සා විකල් නගරෙක බේරාගන්න හදවත නිකං ම කවියෙකුට කොතෙක් වැයවිය හැකි ද මධුවිත
Related Posts Plugin for WordPress, Blogger...