Saturday, April 28, 2012

පරණ පරඬැල්

විසිරුනු හතර වට
පරණ පරඬැල් එක් කොට
අතුගා මුදුන් කොට
ගෙමිදුලෙහි කොනකට
ගිනි කූරක් ද ලං කොට
බලා හිඳිනෙමි දුර සිට
අළු ඇවිත් හුළඟට
කඳුලු උනවයි දෑසට

Friday, April 27, 2012

අලුත් කවි පොත...

සොයා ගෙන නුඹ අත
පළා ආයෙමි නවාතැන වෙත
තබා යහනත මත
බැලිමි හැඩ දුර හිඳ යොමා නෙත

දිලෙන පිට ඔපයට
නැගී එන ඔය නැවුම් පුසුඹට
නොවේ ඒ රසයට
ඇළුම් කෙරුවෙමි මම එදා සිට

දොවාගෙන ඇඟපත
අවදි කර යලි විඩාබර ගත
එන තුරා නුඹ වෙත
මඳක් රැඳියන් "අලුත් කවි පොත"

Wednesday, April 18, 2012

වැවු පතුල...

ඔබේ සෙනෙහස් ගඟ හරස් කර..
මතකයේ ගම් දනවු යට කර..
ජීවිතේ කෙත් උයන් සරු කර..
තැනූ වැව, පිරි මහරු දියවර..

නඟන පෙන කැටි සිනා රළ පිට..
නොසිඳෙනා මුත් නියං සමයට..
අඩුවෙලා දිය පිරුණු මතුපිට..
යලි පෙනේ වැවු පතුල ඉඳ හිට..

Saturday, April 14, 2012

ගිනි පුපුර...

නිවී ගිය
ගිනිමැලය
වටා විසිරී නිදන
අඩක් අළු වී දැවුන
දඬු කොනක
අග රැඳුන
ගිනි පුපුර
රතු ඇහෙන්
රවයි.. ඔරවයි
රැයම

Wednesday, April 11, 2012

විභාගය අවසන...


ඊලඟ වැස්සවත්
වහින්නට පෙරාතුව
ගෙපැලක් අටවන්න
කතිකා කරති
දියබත්වුනු
රිළවු

Monday, April 9, 2012

තඹරූ..

නුබ රෑ අඳුරූ..
සඳ රැස් ඇතිරූ..
තරු මල් ඉහිරූ..
සෙනෙහේ දෙව් රූ..

දෑසේ තැවරූ..
රසඳුන් තඹරූ..
සොඳුරූ නුඹ රූ...
ඇන්දේ කවුරූ..

මුවගින් කිඳුරූ..
මධු මී ඉතිරූ..
සිහිනෙන් කෙඳිරූ..
කව් ගී මියුරූ...

හද මල් බමරූ..
හට මං ඇහිරූ ..
දසක් පවුරූ..
එක්ටැම් මැදුරූ..

නොවුනත් රුදුරූ..
ගෙන වෙස් කෙසරූ..
සිඳ ඒ පවුරූ..
සිඹිනෙම් තඹරූ..



Friday, April 6, 2012

කලියුගයේ..

පාට පන් කොල තොප්පි හිසලා
මස් මරති විල අසල ලැගලා
උමතු මින් රළ ගොඩට පැනලා
ගිලිති ඇම නැති කටුව විකලා

Wednesday, April 4, 2012

ඉකුත් දවස..

ඉරේ ඉර හුලඟට..
සඳේ සඳ වතුරට..
දියව ගිය හෙමිහිට..
හැරී බැලුවෙමි ඉකුත් දවසට..

කඳුලු ඇහිපිය යට..
සිනහ දෙතොලග සිට..
ඉහිරුණු විටින් විට..
තෙමා මතුපිට යට..

පෙනුනි යලි යලි මට..

Sunday, April 1, 2012

කෝපි හලක

ඇඟිලි තුඩු අග පැටලී..
තෙමෙන දෙතොලග, වියළී..
අවන් හල කොනකට වී..
බිඳෙන් බිඳ උණුහුම් වී..

දුම් දමන තව හිනැහී..
තනි හිතට පණ නල දී..
කෝපි වතුරෙන් කැලතී..
දෑස නලියයි මතුවී..
Related Posts Plugin for WordPress, Blogger...