Thursday, May 24, 2012

මලේ...


මලේ රුවට මල් සුවඳට
කවි ගී ලිව්වාට..
මලේ දනිමි මම ඔය හැඩ
නැතිබව හැමදාට..
මලේ වටට මත්
බමරුන්
කරණම් ගැසුවාට..
මලේ උඹට මං විතරයි
මැලවෙන මතු දාට..

Monday, May 21, 2012

මුවැත්තී...


සංසාර සිහිනයෙන් වඩින මල් කිනිත්තී
සන්තානයේ සුසුම සුවඳ කල රුවැත්තී
පින්සාර සිනහවෙන් සිත සිඹින සිතැත්තී

හන්තාන අඩවියේ මං සොයන මුවැත්තී


අමාවක රෑ අහස පිපුන තරු සිඟිත්තී
සැඳෑවම සිතුවමකි ලඟක නුඹ හිඳිද්දී
නිඳා උන් කොවුල් රැළ නැඟී යළි ගයත් ගී
සිසිර සීතල මතක මකාලන වසන්තී

අළුත් තණ පතක අග දිලෙන පිනි බිඳිත්තී
ගලන දොළ මුමුණමින් ලෙලෙන දිය රැළිත්තී
මිදී හෙවණෙන් මගේ නොයයි නම් දුරස් වී
පුදමි නුඹ, දෝතින්ම ජීවිතය ගෙනැත් දී


Sunday, May 13, 2012

බොහෝ දුර ඇමතුම...

බොහෝ දුර ඇමතුමක,
එහා කෙළවර රැඳුන...
දොඩමලු මුවින් නිතර,
ආ ගිය කතා කියන...

සුවදුක් අදත් අසන,
සුපුරුදු සියොත් හඬින...
කැදැල්ලක කූඩුවෙන,
හෙටට අද දින ගනින..

කිරිල්ලක් ලඟ නැතිද?
හෙමිහිට මගෙන් අසන...
ගිලගෙන හිතෙන් ගැයුන,
පිළිතුර හිඳිම් ඉතින.. 

"සුදු හාමිනේ"..
හිනැහෙමි පුරුදු ලෙසින...
නොකියා කිසිත් සිතුන
...

Friday, May 4, 2012

මුහුණු පොත...

නැතත් පොත් සළකුනක් කියන පෙත
නැතක් පිටු අතැර එමි නුඹේ වෙත
'කැමැත්තක්' දමා 'ලියමනක්' වෙත
ගියත් තවමත් ඔතන මගේ හිත

මුහුණු දහසක් අතර පිටු පුරන
පිරුනු කොපුලකි,
පිරුනු හිනාවෙන
දොඩමලු දෙනෙත් අකුරු පුරෝගෙන
මලකඩ
බැඳුනු කව ට පණපොවන

Wednesday, May 2, 2012

තරු දෑස...

තුරු හිස් පෙළින් වැසුන
කඳු හිස් මතින් දිසෙන
රෑ අහස...
වරුවක් පෙරුම් පුරණ
එළියක් දකින රිසින
හිස් දෑස...
කලුවක් වළා ඇලුන
පලුවක් හඳේ මකන
මදහාස...
වියපත් දෙනෙත් රිදෙන
එනමුත් යළිත් සොයන
තරු දෑස...
Related Posts Plugin for WordPress, Blogger...