Monday, December 9, 2013

ගොළු බෙල්ලා සහ කොලු-බෙල්ලා

කොම්බුවක් වගේ කැරකුණ 
හරි අපූරු ගේ පොඩ්ඩෙන් 
හෙමින් පිටට ඉහ පොවමින් 
යන්න හදන හැම වෙලේම 

පුංචි ඇඟිල්ලෙන් හෙමිහිට 
පුංචි පුංචි තට්ටු දැමූ 
කුහුලෙන් දිළිහෙන ඇස් ඇති 
පුංචි එකෙක් 

උගේ ගමන පමා කළා..

කලබල වී 
ඒ හැම සැරේම 
ගුලි ගැහුනා 
ඌ ගේ ඇතුලෙ ම..

ඉතින් ඊට පස්සේ,

ගොලුබෙල්ලා හෙමින් හෙමින් ඇවිද       ගියා 
රිදී පාට ඌ ගිය මග මැකිලා                    ගියා 
පුංචි දවස් හරි වේගෙන් දුවල                   ගියා 
දිලිහෙන ඇස් දුවිල්ලට අඳුරු පාට වෙලා ගියා 

********
ලොකු උනාම පුංචි එකා 
වනන්තරේ ඇවිද ගියා 
සුවඳ පාට මල් හොය හොය
අහුමුළු පීරමින් ගියා 

හීරි හීරි කටු ඇනුනා 
පෑරි පෑරි ලේ ගැලුවා 
යළි ඇනුනා 
ලේ හැලුනා 

ඇඟ වටේට හෙමි හෙමීට 
ගනකම කටුවක් හැදුනා 
ඒ ඇතුලෙම ගුලි ගැහෙන්න 
සුවඳ පාට 
සිනිඳු පහස 
හීනෙන් විතරක් හොයන්න 
ඌ ටික ටික පුරුදු උනා 

********

එක පාටම එකම හීන 
එක දවසක එපා උනා 
කටුවෙන් එලියට බැහැලා 
අලුතෙන් උගේ ගමන  යන්නට 
කොලු - බෙල්ලට ඕනේ උනා 

හෙමින් පිටට ඉහ පොවමින් 
යන්න හදන හැම වෙලේම 
මුද්දක් මැද්දෙන් හිර කල 
සුමුදු ඇඟිල්ලක් ඇවිදින්

උගේ ගමන පමා කළා..

කලබල වී 
ඒ හැම සැරේම 
ගුලි ගැහුනා 
ඌ ගේ ඇතුලෙ ම..


Monday, November 4, 2013

පෘතග්ජන

දළ සළු ද 
කොමු පිළි ද 
විනිවිදින  ..  
උඩු හම අසල 
පරදින  ..
ඇස 
මනැස..!!! 

Monday, October 7, 2013

තටු නොසිඳි හිත



දැවී නලියයි 
නෙක පහන් වැටි
සුළඟ පැටලෙන, වට පිට.. 
පලාපෙත්තෙකි 
තටු කපා ගත්
සියතින්ම පෙර කලකට..
බලා එළි දෙස 
දුරින් දිලිසෙන 
පණපිටින් යයි ඉවතට .. 
බිමින් ඇවිදින
උට, ඉගිල්ලෙන 
හිතක් ඇත පෙර පිනකට..

සඳ, ඇවිත් කොහොමද ?



කොයි තරම් හිතාදර 
හඳකට වුනත් 
ඉන්න හිටින්න 
බැරි තරම් 
හැඩි වෙලා හරියට 
මේ ආකාස කුටිය..

ඉරා විසි කල 
වලාකුළු කෑලි 
දැමූ පොඩි කර 
තාරකා ගුලි 
ඇඳුණු තැන තැන 
උල්කා ඉරි 
පැටලී ගැට ගැහුණු 
මන්දාකිනි 

වගක් නෑ ඕව ගැන 
දැන් මට..
ඒත් සුදු සඳ,
ඇවිත් කොහොමද ?? 

Monday, August 19, 2013

කිලිටි කවි පොත අතැතිව



එකම කඳුළු 
එක පිට එක
එකම මතක 
එක පිට එක
වැටී ඇලී 
එක පිට එක 
දුඹුරු ගැහුණි 
එක එක පිට 

සුරා කල්පයක කහට 
සිදුරු නොකර සුද මතු කොට 
ඉඩ දෙන නෑඹුල් කවක ට 
සියුම් අතක් අවැසිය මට..!! 

Saturday, August 17, 2013

පස් වසරක් සරසවියේ...



පැතුම් පොකුරු පොදි බැඳගෙන ඇවිදින් හද සන්තානේ 
පස් වසරක් ගෙවී ගිහින් කඳු පාමුල හන්තානේ 
ටික දොහකින් නිමා වේවී අග හරියයලු මේ හීනෙ 
එතෙක් සිඹිමි කහ මල් පෙති මොහොතක් මොහොතක් ගානේ 

ලිහිණියෙකුගේ මරණය



වතුර පොදටත් තිබුණු අයිතිය නොහිතු දවසක ඇහිරුණේ 
තැවුණු අසරණ ලිහිණි සෙනඟක් දිය සොයා ගෙන ඉගිලුනේ 
අණට කීකරු තුවක්කුවකට ඉලක්කය නැත වැරදුණේ 
රුධිරයෙන් පස රතට හරවා තුරුණු පපුවකි නැවතුනේ 

උරාගෙන උණු රුහිරු පොළොවට එතැන බිජුවකි පැළවුණේ 
හිනාවෙනු ඇත මලක් මතු කර හෙට අපට අමතක දිනේ 

කවියාගේ(ම) කවිය..



වසා දොරගුලු, පිටත පොරකන
සුලං රැල් ගැන කතා කියනෙමි
රුදුරු නිරුදක කතර සරමින්
සීත වැහිපොද සිහින බෙදනෙමි
ගලන කඳුරක දිලෙන නිල ගැන
කාණු පතුලක කවක් පබඳිමි
ටිකෙන් ටික පණ අදින අතරේ 
මියෙන ගතකට හුස්ම පිඹිනෙමි

ප්‍රේමය(1)



බලා නෙත් අගින් බැල්මක් 
දාහක් මල් පූදනු හැකි 
රවා යන්තමින් සැරයක් 
දවා භෂ්ම කරලනු හැකි 
හිතක් ලොවේ කොතැනක හරි 
ඇති බව දැනගත් දවසේ 
හොරෙන්ම ඉපදී වැඩෙනා 
අහංකාර සන්තෝසෙකි..!!

Sunday, July 28, 2013

ලිලිපුට්ටෝ


මරණයේ යෝද කය
හෙලූ හෙවනැල්ල යට
අපි...
අසරණ ලිලිපුට්ටන්..
බේත් හේත්, වෙද හෙද කම්
ඉදිකටු කඩු කිණිසි රැගෙන..
යුද සැලසුම් සකසනු දැක
දුටුවෙද අවමන් සිනහව
ගලිවර මුහුණත මතුවුන..

ඉදින් මා කවියෙකු විය..



අමුතුවෙන් නොහිතා 
වැඩි යමක් 
ඔහේ කටු ගෑවෙමි..
බොහෝ දේ..

මා දකින ඇසිල්ලෙන් 
මලක් සේ පිපී ආ,
සඳ කිඳුරු මුව ගැන..
දෝතින්ම ගෙන මගේ 
නොවටිනා තිළිණයක්,
මහා මෙරක් ලද ලෙසින් 
විස්මයෙන් ඉස්සුණු ඇස් ගැන..
එකම එක වතාවක් 
සීතලට දැනුණු, මුදු 
ලපටි නා දළු ගැන...
අහිමි කරගෙන ඒ හැම,
අකාලේ මියගොසින් 
අපාගත වූ මගේම හිත ගැන..

නුඹ ද, ඒ මතකය ද..
කවියක් ම විය..
ඉදින් මා කවියෙකු විය.

සීතල ගමනාන්තය



ලෙහාගෙන 
දෙතොල් පැටලුම්, 
අදට සමුදී 
අවසාන අසුනට ,
වීසි කර කාණුවට 
තවත් දුර යන්න බැරි 
ටිකට්..
ඇවිළෙන දුලී අතරින් 
බොඳවී දුරස් වෙයි ,

අඩකින් නිවුණු ..
පෙම්වත් සිරුරු.. 

නොමියෙන මතක



කෙලෙස සම කරන්න ද 
ඔබ, සුපිපි මලකට..
රුව සුවඳ තිබුනාට,
මියෙනතුරු මට මතක,
මිහිරිතම උණුහුම..
අඩු නිසා මල් පෙති ළඟ..

කෙලෙස සම කරන්න ද 
ඔබ, සරා සඳකට...
මුදු එලිය හැලුවාට,
මියෙනතුරු මට මතක ,
හිත පිරෙන සිනහව..
අඩු නිසා සඳවත ළඟ..

කෙලෙස ගී ලියන්න ද 
තවත් නම් නුඹ හට..
සියක් පද හිතුනාට, 
මියෙන තුරු මට මතක 
ඒ මියුරුතම වදන..
අඩු නිසා කවි හිත ළඟ.. 

නිදි නැති රැයක


සඳ බොඳ වෙලා..මැකෙමින් 
තරු ගිලිහිලා..
හුරුපුරුදු කඳුලක් 
නෙතගේ..
මග බල බලා ...

පිණි ගැලවිලා.. අහසින් 
බිම ඉහිරිලා..
දිව ගිලුණු පොලවේ 
වැතිරී..
සරදම් කළා..

සීතල ගලා.. ඇවිදින්
සියොළඟ වෙලා..
උණුහුම් සිතුම් යලි 
කලතා.. 
රැය දිගු කළා..

ඉගිල්ලෙන මාලු ?


තහනම් කල යුතුය 
මේ අහස උන් හට, නිසැකවම 
සියොතුනට කල ලෙසටම...

ඉගිල්ලෙන අතර තුර 
සුළු දිය බිම හෙලා 
කැත කෙරුවොතින් හෙම 
දූපත වැහෙන්නම එලූ 
අගේ ඇති කැමා සළුපට...

නික්ම යමි



අන්න ඈතින් පෙනෙයි 
අවසාන දුර්ගයට එපිටින් 
ආ මගෙහි 
කෙලවර..
මුදාලන මා 
මේ රුදු ගමන් වෙහෙසින්..

ඉර හෙවිලි කර ඉහට 
හඳ අවුළුවා රෑ ට
නොනැවතී යා යුතුය 
නොබලා ම වට පිට..
පමාවට කොහොමවත් 
සමාවක් නැතිකොට..

ඉදිරියෙන් හුඟක් 
පසුපසින් ටිකක් 
මගියෝම වෙති තවත් 
මා වැනිම.. මිරිකුණ..
හිනැහෙන හඬන 
හැටි පවා.. 
ඇතැමෙකුට අමතක වුන.

ඉදින් මා නික්ම යමි..
පුරුදු බර කරට ගෙන,
සොයා ඒ නැවතුම ..

දැන දැන වුව ද එය 
අලුත් වෙහෙසක 
වෙනස් රිදුමක 
තවත් එක 
ඇරඹුමක් පමණක් බව...

යදියෝ


ටික දෙනෙකි 
වැරහැලි වතින් 
පන්සලේ 
දොරකඩ..

මහා ගොඩකි,
සුදු වතින් 
බෝ සමිඳු 
අබියස.. 

හිම පියල්ලක්




සීත බටහිර 
අහසගින් 
බිමට බට 
සුසුදු හිම පියල්ලක්
පාව යයි 
ඔබ 
මොබ ..

උණුසුම් 

පෙරදිග සුළං රැලි  මැද 

රතට හැරෙමින් 
දියවෙයි, 
ටිකෙන් ටික ,
සිසිර නින්දෙන් 
සුදුමැලිව 
ගල් ගැසී තිබු 
මහද..

හරි පුදුම හිර ගෙදර



අසිරිමත් නිමැවුමකි,
කලක් තිස්සේ තනා 
ළඟක දී වැඩ නිම කල..

වැට කඩොලු 
මුර කපොලු 
මහ පවුරු, 
නිදහස් මතින් නළියන 
'නැහැදිච්ච' උන්ට 
විතරක්ම පෙනෙන 

සිරගත බවක් නොම දත්
මිලියන ගණන් 
රැඳවියන්,
බරපතල වැඩ අතර 
ලැබෙන මද ඉසිඹුවේ 
දෙන දෙයක් වළඳන්න 
තැටි අරන් 
හැඳි අතැති අය සොයා 
පෝලිමේ ගාටන 

මායිම් වෙරල අසබඩ 
ලෝකෙටම පෙනෙන උසකින් 
මහ පුවරුවක ලියවුන 
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ" 
යන වග... 

හැන්දෑ කව


සිහිල් තුරු වදුළු යට 
වැටුණු මල් සිනාසෙයි.. 
වෙරළ කුඩා මුවාවෙහි 
කිරි කාවඩි කතාවෙයි ..
රඟහලෙහි රහස් කියු 
මඳ අඳුර මතක් වෙයි..
මහළු ඉරබටු තරුව 
සිතිජ ඉම මියෑදෙයි..

නොපිපි මල සොයා


පිපෙනු පින් මඳ වුවද උපන් දූපත මත 
ඉඩ හසර කොතරම් ද මේ විසල් මිහිකත 
එන දිනෙක සුවඳ අරගෙන වඩින හදවෙත 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

ෆුජි කඳු මුදුන ඈතින් පෙනෙන මානෙක 
ඇවිලෙනා වැලි කතර ක්ෂේම බිම් හෙවනක 
යකඩ අයිෆල් ඇසට අසුවනා නගරෙක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

ඇලවෙනා කුලුන අසබඩ ගෙවතු උයනක 
සොඳුරු වැසි වනපෙතක ඇස නොගැසි පෙදෙසක 
තණබිමක ගොපළු ගී ඇසෙන ගං ඉවුරක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

තටු හැලී කුරුළු හද මියෙන තුරු දවසක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

Friday, July 12, 2013

තොටුපොල අද්දර

දිගු කල පා ඇඟිලි තුඩින් 
නිසසල නිල් දිය මතුපිට 
කවියක් කර ඔබ ලියුවිට 
මිහිර ආදරේ..

අහුලන් ගල් කැට එක එක 
විසිකර ඉගැඹුරු පතුලට 
කැලතුන රළ ගෙන මැව්වෙමි 
රිදුම් ආදරේ..

තවමත් තොටුපොල අද්දර 
ඉඳහිට තනිවෙන හවසට 
ඇඳී මැකෙනයුරු විඳිනෙමි 
අපේ ආදරේ..

Friday, June 28, 2013

පසුතැවිල්ල


ගෙනියන්න බැරි නිසා 
ඉහ තියන් යනෙන තැන 
රහසේම හංගලා තියපු..
හෙමි හෙමින් කලු ගැහෙනු 
පෙනෙයි කවුරුත් නොදක 
රිදී රුව මං හිතින් නෙළපු.. 
රත්තරන් හරි ගණන් 
හිතන්නත් බැරි තරං 
සුකුමාර අත් වලම නිදපූ..
මත්ව සිතිවිලි මතින් 
ඉහ බමණ වෙලාවක 
මැටි වැඩක මහත පෙර කරපු.

ජිවිතයට ඉඩදෙමි




රෝස මහනෙල් වතුසුදු 
රොස් පරොස් යලි නොඅසමි 
රෑට විතරක් සුපිපෙන 
රෑ කුමාරි ට ලං වෙමි 

ගිමන් අහසින් මොර දෙන 
පවන් මිස වැසි නොපතමි 
ලවන් පවසින් නළියන 
පැලෙන්නට ඉඩ නාරිමි 

සොයන් සිහිළක් තැන තැන 
පයින් යන සිත කැදවමි 
හීතලට පෙන පුපුරණ 
වීදුරුව තුල ගිල්වමි

Sunday, June 23, 2013

දූත ගීතය



සැරද(?) මහ රජ !!

ඉතින් අප පැමිණියෙමු 
ඔබ කෙරෙහි අනු[කම්පාවෙන්]
එවූ ඇරයුම් පිළිගෙන 
දුරු කතර ගෙවාගෙන 
හොවැන්ග්හෝ නිම්නයෙන් පැන..


බය නැතුව අරගන්න 
ඕo තියෙනවා ඕනේ සේරම 
සල්ලි මොකටද දැන්මම 
පස්සේ බැරියැ පොලිය එක්කම 

මෙන්න හැලුවා මල්ල ම 
අහුලා ගත්තොත් නියම පල්ලම 
රට වැසි දනන් හැම 
තවත් හැඩ වෙයි කොන්ඩේ බැන්දම
Related Posts Plugin for WordPress, Blogger...