Monday, December 9, 2013

ගොළු බෙල්ලා සහ කොලු-බෙල්ලා

කොම්බුවක් වගේ කැරකුණ 
හරි අපූරු ගේ පොඩ්ඩෙන් 
හෙමින් පිටට ඉහ පොවමින් 
යන්න හදන හැම වෙලේම 

පුංචි ඇඟිල්ලෙන් හෙමිහිට 
පුංචි පුංචි තට්ටු දැමූ 
කුහුලෙන් දිළිහෙන ඇස් ඇති 
පුංචි එකෙක් 

උගේ ගමන පමා කළා..

කලබල වී 
ඒ හැම සැරේම 
ගුලි ගැහුනා 
ඌ ගේ ඇතුලෙ ම..

ඉතින් ඊට පස්සේ,

ගොලුබෙල්ලා හෙමින් හෙමින් ඇවිද       ගියා 
රිදී පාට ඌ ගිය මග මැකිලා                    ගියා 
පුංචි දවස් හරි වේගෙන් දුවල                   ගියා 
දිලිහෙන ඇස් දුවිල්ලට අඳුරු පාට වෙලා ගියා 

********
ලොකු උනාම පුංචි එකා 
වනන්තරේ ඇවිද ගියා 
සුවඳ පාට මල් හොය හොය
අහුමුළු පීරමින් ගියා 

හීරි හීරි කටු ඇනුනා 
පෑරි පෑරි ලේ ගැලුවා 
යළි ඇනුනා 
ලේ හැලුනා 

ඇඟ වටේට හෙමි හෙමීට 
ගනකම කටුවක් හැදුනා 
ඒ ඇතුලෙම ගුලි ගැහෙන්න 
සුවඳ පාට 
සිනිඳු පහස 
හීනෙන් විතරක් හොයන්න 
ඌ ටික ටික පුරුදු උනා 

********

එක පාටම එකම හීන 
එක දවසක එපා උනා 
කටුවෙන් එලියට බැහැලා 
අලුතෙන් උගේ ගමන  යන්නට 
කොලු - බෙල්ලට ඕනේ උනා 

හෙමින් පිටට ඉහ පොවමින් 
යන්න හදන හැම වෙලේම 
මුද්දක් මැද්දෙන් හිර කල 
සුමුදු ඇඟිල්ලක් ඇවිදින්

උගේ ගමන පමා කළා..

කලබල වී 
ඒ හැම සැරේම 
ගුලි ගැහුනා 
ඌ ගේ ඇතුලෙ ම..


Related Posts Plugin for WordPress, Blogger...