Sunday, June 3, 2012

අරුත් බර වෙසඟ...

අරුත් බර සැණකෙලිය,
වෙසක් පෝ දා තිබුන...
බලන්නට යා යුතුම,
නිවන් යනු රිසි සුදන..

කුමට පැකිළෙනු ඉතින,
දිලෙමු විසිතුරු වතින..
සර්පයින් ගුලි ගැහුන,

පසුම්බිය අතට ගෙන..

මෙරිගෝ රවුන්ඩ්,
රැය පුරා, නොනැවතී බමණ..
සංසාර චක්කරේ,
කැරකෙනා හැටි කියන..

හොල්මන් ගුහා නිතොර,
ගන කලුවරින් පිරුන..
මෝහාන්ධකාරයේ,
රුදුර පිලිබිඹු කරන..

නොයෙක් ඇස්බැන්ඳුම්ය,
මඩු කොනෙක වට කෙරුන..
පෙනෙන හැම දෙයෙහි ඇති,
මායාව දිගහරින..

කෙලක් විසිතුරු බඩුය,
වෙළඳ කුටි තුල පිරුණ..
දිනෙන් කුණු ගොඩට පැන,
අනිත්‍යය තිර කරන..
 

නටති ඔලුබක්කන් ද,
යනෙන මග ඇඟට පැන..
ඉදිමුණු හිසෙන් රඟන,
වියරුවෙහි රඟ පෙනෙන..

නොදැන සැඟවුනු අරුත,
පිරිස් වෙති දෙස් නගන..
පිනැති දන පෙළට විත්,
හිටිවනම නිවන් යන..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...