Wednesday, February 5, 2020

පෙත් මඟක මගියෙක්

ඉමක් නොපෙනෙනා පෙත් මඟ
නිමක් නොදන්නා ගමනක
අව් වැහි යට සිනහමුවින
තනිකර මිනිහෙක් දුර යන


කඳු පල්ලම්
බැස නගිමින
නැග බසිමින
යළි නගිමින


උජාරුවෙන් ඔජවඩමින්
ඉගිලෙන තරු ඉදිඹුවෙකුට
සෙවල හලාගෙන දිව එන
ගොලුබෙලි-හංගොලු කෙනෙකුට
ඉඩ දී අයිනකට වෙමින
හෙමින් යදඬු පා ඔසවන


මඟ අයිනක පිපී නටන
සුවඳ පාට මල් මූණක
සිනිඳු ගතිය ළඟ පමණක්
ඉඳහිට හෝ පය නවතින


වළාකුළක් ඉහලාගෙන 
මීදුමෙන් ජටා පළඳින
හඳ පලුවක හැඩ එලියෙන්
රෑටත් ඉර අරගෙන යන


ඉමක් හොය හොයා පෙත් මඟ
නිමක් දකිනු රිසි ගමනක
අව් වැහි යට සිනහමුවින
තනිකර මිනිහෙක් දුර යන

3 comments:

  1. ලයික් එකක් දාන්න තැනක් හෙව්වෙ යාලුවා.

    ReplyDelete
  2. ස්තූතියි මිත්‍රයා !

    ReplyDelete
  3. ඉමක් හොය හොයා පෙත්මග
    පෙත්මග
    නිමක් දකිනු රිසි ගමනක....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...