Saturday, January 18, 2014

කවියාගේ පෙම්වතිය

"රට වටේ ගෑනුන්ට" 

ඔහු ලියන පද වැනුම් 

ඉරිසියා නැති ඇහෙන් බලන්නී...

 

වතාවක් ඈ නමට 

ලියා එවූ පද හතර 

රන් පිඩක් සේ තවම රකින්නී...

 

ගටගැහුණු , පටලැවුණු 

අකුරු එකිනෙක ලිහා 

එළිවැට ලඟින් පෙලට තබන්නී...

 

ඉඩ පිරුණු, ලොකු හිතක 

නිදහසේ ඇවිදිමින් 

සැලමුතු පෙමක මිහිර විඳින්නී..

Tuesday, January 14, 2014

ඒත් නොරිකෝ.,


 පොතේ හැටිය ට 
කබුකි , නෝ නැතුවට 
වලේ නළුවක රසින් ඉපිලී 
රිදෙන තුරු තැලුම ට 
අපට අත්පොඩි තිබුනා 

කඩදාසි ලන්තෑරුම් වල 
මද මුදු එලිය නැතුවට 
තුරු වියන අතරින් පෙරී ආ 
ලස්සන ම හඳ රැස් බිංදු 
පොළොන්නරුවට වැටුනා 

පසුබිමෙන් ස්වර වැයෙනා 
අවන් හල් වල කෝපි නැතුවට 
නුවර ටවුමෙ දි තිබහ දැනුන ම 
සීත කෝලා පෙන කැට 
අපේ තොල කට තෙමුවා 

"ඉක්මනින් හොයාගන්න 
ඔයාට ගැලපෙන කෙනෙක්,
පුරුදු වෙයි නැත්තන් 
නරක දේවල් වලට  "
පොතේ නැති දෙබසක් 
ඈ අන්තිමට කිව්වා  

"සකේ" උගුරක ට 
"ගේෂා" ගීයක ට
උඹේ අඩුව පුරවන්න බැරි බව 
මං දැනන් හිටියා 

එත් නොරිකෝ 
ඒ "නරක" දේ වලින් 
පොඩ්ඩකට හරි 
රිදෙන හිත හිරි වැටුනා .. 

Thursday, January 2, 2014

පහනක් විතරක්..


පොත් පිටු පෙරලා 
අකුරු අහුලලා 
එනකොට හොඳට ම හවස් වෙලා..
දළදා මළුව ට 
කිරි ගඟ ගලලා 
උඩු මාලෙට දුර හුඟක් වෙලා..
ඕලු නෙලුම් 
නිල් මානෙල් වතුසුදු 
සේරම පුදසුන් මත පිදිලා..
ඉස්සර වාගේම 
මේ භවයෙත් මම 
පහනක් විතරක් පත්තු කළා..

Monday, December 9, 2013

ගොළු බෙල්ලා සහ කොලු-බෙල්ලා

කොම්බුවක් වගේ කැරකුණ 
හරි අපූරු ගේ පොඩ්ඩෙන් 
හෙමින් පිටට ඉහ පොවමින් 
යන්න හදන හැම වෙලේම 

පුංචි ඇඟිල්ලෙන් හෙමිහිට 
පුංචි පුංචි තට්ටු දැමූ 
කුහුලෙන් දිළිහෙන ඇස් ඇති 
පුංචි එකෙක් 

උගේ ගමන පමා කළා..

කලබල වී 
ඒ හැම සැරේම 
ගුලි ගැහුනා 
ඌ ගේ ඇතුලෙ ම..

ඉතින් ඊට පස්සේ,

ගොලුබෙල්ලා හෙමින් හෙමින් ඇවිද       ගියා 
රිදී පාට ඌ ගිය මග මැකිලා                    ගියා 
පුංචි දවස් හරි වේගෙන් දුවල                   ගියා 
දිලිහෙන ඇස් දුවිල්ලට අඳුරු පාට වෙලා ගියා 

********
ලොකු උනාම පුංචි එකා 
වනන්තරේ ඇවිද ගියා 
සුවඳ පාට මල් හොය හොය
අහුමුළු පීරමින් ගියා 

හීරි හීරි කටු ඇනුනා 
පෑරි පෑරි ලේ ගැලුවා 
යළි ඇනුනා 
ලේ හැලුනා 

ඇඟ වටේට හෙමි හෙමීට 
ගනකම කටුවක් හැදුනා 
ඒ ඇතුලෙම ගුලි ගැහෙන්න 
සුවඳ පාට 
සිනිඳු පහස 
හීනෙන් විතරක් හොයන්න 
ඌ ටික ටික පුරුදු උනා 

********

එක පාටම එකම හීන 
එක දවසක එපා උනා 
කටුවෙන් එලියට බැහැලා 
අලුතෙන් උගේ ගමන  යන්නට 
කොලු - බෙල්ලට ඕනේ උනා 

හෙමින් පිටට ඉහ පොවමින් 
යන්න හදන හැම වෙලේම 
මුද්දක් මැද්දෙන් හිර කල 
සුමුදු ඇඟිල්ලක් ඇවිදින්

උගේ ගමන පමා කළා..

කලබල වී 
ඒ හැම සැරේම 
ගුලි ගැහුනා 
ඌ ගේ ඇතුලෙ ම..


Monday, November 4, 2013

පෘතග්ජන

දළ සළු ද 
කොමු පිළි ද 
විනිවිදින  ..  
උඩු හම අසල 
පරදින  ..
ඇස 
මනැස..!!! 

Related Posts Plugin for WordPress, Blogger...