Showing posts with label නිසඳැස්. Show all posts
Showing posts with label නිසඳැස්. Show all posts

Thursday, April 30, 2020

ඒ ආලෝකමත් අවදිය

ඒ ආලෝකමත් අවදිය
සියලු පැහැබර කිරණ
අප මත පතිත කළ

වැසි-සුළං දුහුවිලි ඇලී
ඇස් බොඳ නොවන්නට
පෙරා පිටතින් තබාගත්
වා-මුවාවේ මතකය,
දැන් නම් අතීතය

කලු ගලක හැපෙනා මොහොත ගැන
සැලසුමක් නොතිබුණා නොවෙයි
තියුණු වීදුරු සැතකින්
මරාගෙන මැරෙන්නට උව පිළිවන

තිරිවාණා කැට මෙන් විසිරී
බෙලසුන් කයින් වැතිරී
දැන් මේ කියන්නේ

ඒ ගමන අවසන් බව ද?

Thursday, March 21, 2019

කිකිළි දූපත

කැලැත්තී මුහුද හුලඟට
“පචස්” ගා වදින රැල්ලට
යළිත් යළි-යලිත් දියවෙන 
බිමක් තියෙනවා...
කොට කොටා සයින් යන එන
එහි දෙපා සතුන් ගැන දැන
කිකිළි දූපතයි ඒකට නමක් කියනවා..

පහුරුගා පයින් කතිරෙට
මඟ සදා හිවල් සෙනඟට
කූඩුවේ යතුරු වැඳ වැඳ
බැතින් පුදනවා..
තටු පවා ඉතුරු නැති කොට
එක එකා මරං කනකොට
එළවලා එවුන් හනිකට
මුගටි ගේනවා ..
නැති උනත් දැමුව බිජුවක්
හොයාගෙන රවුම් කිසිවක්
‍”රකින්නට වරෙව්” හයියෙන්
කෙකර ගානවා..
මොකෑ ඔය? කියා ඇහුවොත්
විදා තටු කැහැටු පොරකටු
මරාගෙන මැරෙන රෑනක්
පොරට පනිනවා..
හෙටක් නැති උනත් කාටත්
හොටක් තියෙනවා..

Painting by Martin Cambriglia

Saturday, January 5, 2019

වධක භූමි


පැත්තකට හිස නැමුනු - නිල්පාට කුරුසයේ
අදත් උං කවුද ගැටගහලා
දුර උනත් පැහැදිලිව - දැකගන්න හැකි වෙන්න 

අත්වලට පුංචි ඇස් දීලා

චෝදනා ලියවිල්ල- බෙල්ල මුල එල්ලලා
ඉස් මුදුනෙ කටු ඔටුනු දාලා
නිදහසට කාරණා තියෙනවා ඇති,ඒත්
කොයි කවුද විමසන්නෙ හාරා

කිසිම වරදක් නොකල - කෙනෙක් පළමුව ගසනු!
කවුද කිවා ,ගොදුර පාලා
ගල් මුගුරු වැස්සකින් - අහස ඇහිරී ගියා
සෙනඟෙ නිවැරදි තරම පාලා

ලේ ගලන ,ඇට බිඳෙන- මස් තැලෙන ,හිස් පැලෙන
“අසිරි” දැක දැක උදම් විලා
නැඟුණ සැමරුම් හඬින් උඩුගුවන පිපිරුණා
තව්තිසා කුලුනු දෙදරාලා

බාල - වැඩිහිටි, ගෑණු-පිරිමි කවුරුන් උනත්
පැටලුනොත් කරුමෙ පළදීලා
ගැලවුමක් නෑ තවත් කාගෙ හරි ගෙල මුලට
වැටෙනතුරු රක්ත වද මාලා

මේ කෙබඳු නිරයක් ද? හෙට ඔබද? මම නොවේ ද ?
අසන කෙනෙකුන් වෙද විචාරා
වරෙන්තුව ලියාගෙන ඇවිත් දොර බිඳින තුරු
කෙළිමු සියොළඟ දූලි නාලා.. 

Saturday, December 1, 2018

මධ්‍යස්ථ ඌරෙක්


දිය අගලකින් වටවුණ- මඩ ගඳ ඌරු කොටුවක්
හරි මැද අයිතිකරගෙන - වැජඹුනා සූකරයෙක්
වමට පය තිබ්බොත් - දකුණටත් යයි අඩියක්
උතුරට ඇවිද්දොත් - අනික් අහටත් දුවයි සැරයක්
නවතියි අන්තිමේ - හිටි තැනම ඒ උගේ හැටියක්
ගරුසරුව ඇතුව කියැවෙයි
“හා! මධ්‍යස්ථ ඌරෙක්”
අගල අසලට ආ කල - නාඳුනන වල් (ඌරු) නඩයක්
හෙලා දැක දැක දඩයම - හඬතලයි බිම උලා කුරයක්
නත්තලට අවුරුද්දට - “පෝක්” වෙනකොට අසල්වැසියෙක්
කුටුකුටු ගගා තැන තැන - යදී බොරුවට හෙණයක්
“බැන්ණනෙ මරපු කාටත්”
තිබුණත් සැරේ වෙනසක්
සියලු සූකර සිත්බැඳි
“ඌරුවාදී ඌරෙක්”
කෑමට සලාකය - ලැබෙනකොට දවසට දෙසැරයක්
වනා වනා එහි යහගුණ - වළඳයි විලස මහතෙක්
උතුරා ගිය වෙලේ - පොදු මිනිස් වැසිකිළියක්
පැනගෙන ගිහින් හැල්මේ - පැරදුවා ආ ලොකුම ගලියක්
“වෙනසක් කොහෙද කෑමේ”
නෑ කිසි උඩඟු ගතියක්
බහුතරේ (ගඳ අනුව) කීවේ
“මූ හරි සරල ඌරෙක්”

Tuesday, September 12, 2017

ඉනික්බිති


වසාලයි ඔබ පැමිණ
ඒ සියලු කුස්තූර
මහද බිත පුරාවට
කැතට විසිරී තිබුණ

පෙඳ පාසි අතර පිපි
පෙනෙන නොපෙනෙන පුෂ්ප
දැනෙන නොදැනෙන තරම්
ක්ෂුද්‍ර සුවඳක් සැදුව
නිදාහුන් ලැගුම්හල,

වැසී යයි එකින් එක
තැවරෙමින් සෙනේ දිය
බදාමය සේ සැදී
සියුමැඟිලි තුඩ මිදෙන

පිරියම් ව සුද මැදී
ඔප වැටී තිබෙන සඳ
අසයි ඔබ
සොයම් මම

ඒ කුඩා කුසුම් ඉඩ

Saturday, May 20, 2017

ලොවෙන් අඩක් තනි යායකි


රෑ දවසෙත් ඇහේ ඇනෙයි
ගනකම් අඳුරෙන් ඉස්සී
වැට කොටු කටු කම්බි පවුරු
හඳ දැක ඇහැරුන ගැස්සී
අමාවකේ වළා ගලා
තරු ගිනි පුපුරු ද හිස් වී
ලොවෙන් අඩක් තනි යායකි
කලුවර යට කැටිගැස්සී




Saturday, March 11, 2017

විල් තෙම


මුහුණටම වීසිකල
ලොකු කුඩා කැට කැබලිති
ග්ලුප් හඬින් ගිලදමන
ඉගැඹුරු සුනිල විල්තෙම


සියුම් දිය රැල්ලකි
ගැටෙනා තැනින් ඉපදෙන
මඳ දුරක් දිවගොස්
බොඳවී මැකීයන


නැත අන් සලකුණක්
ඒ කිසි මිනිස් වෙහෙසක
මඳ මඳ ඉහල එසැවෙන
දිය කඳ පමණි අපමණ





ඍතුවෙන් ඍතුවට..



අප්‍රියෙල් අහස ඉඹ
පිපිරිලා කැබලිවෙමි
වෙසක් හුළඟක ඇලී
තැන නොතැන විසිර යමි
නිකිණි හිරු අබිමුවෙහි
උණුව දියවී ගලමි
දුරුත්තේ හීතලට
නිවී යළි කැටිගැහෙමි

ඒ කිසිම තොරතුරක්
කිසිවිටෙක නොසඟවමි
මුදා විසිතුරු සලුව
අගුලු නැති දොර හරිමි

මිදෙන මං පෙනි පෙනී
සුවපහසු මිහිදුමක
පටලැවෙමි..

Thursday, January 19, 2017

කරගැට


ආකහේ නිල් පාට
ගොයම් ළා කොළ පාට
මජං කලු, බුලත් කෙළ
බිම අඳින රතු පාට
තවත් නෙක දැක පුරුදු
පෙට්ටියේ නැති පාට

එකිනෙක මුසුව - වෙන්ව
සියුම් රේඛා අතර 
අපිළිවෙළකට ඇඳුන
තවම තෙත එ සිතුවම

ඇස් පුරා විඳිනතර
බිඳ දමා සිත් දැහැන
සිත්තරා මහ හඬින්
හඬගසන හඬ ඇසිණ

"හෙළිකරමි මෙහි රහස
බලව් මේ දෑත් දෙස
පින්සලය මනාකොට
හසුකර දෙවන කරගැට"

චිත්‍රයේ ගනකමට
තැවරී තිබෙන දහදිය
දුක් ලැබ බොහෝකොට
නහර ඉල්පුන හදවත
දිස්වෙන නමුදු විනිවිද
වර්ණ රේඛා හැඩතල 

සිත්තම අසල දැන්
කිසිවෙක් නොමැත කියවන 
සිත්තර දෑත වටකොට
සොයති විස්මිත කරගැට

Friday, September 30, 2016

වියළි


කුඩමැහි පිළී ගඳ පණ අදිනා වැවක
කට කාරවන කිවුලැති ලිඳක පතුලක
අව පැහැ උතුරු සලුවෙන් වැසුණු පපුවක
සෙවුවෙමි නමුදු නොදිටිමි ඒ කිසිතැනක

පොළොං දළ ඇණුනු මඩ තැවරුණු පයක
මිතුරු තොමෝ ලය හැඳි කිණිසි පහරක
දෙකම්මුල් තැලුණු සිරිකතක මුවගක
අජාසත්ත ‘අතගෑ’ පැසුණු සිරසක

ගලනා අනවරත රත මිස අන් තැනක
කොයිදෑ තෙතක් මේ සා වියළි පොළොවක

Wednesday, August 17, 2016

වසන්තේ කෙලවර




රොබරෝසි ඉපල් අග
අලුතින් ගෙපැල් අටවන
කරව් කරනා මිතුරන්,
බෝ වැඩ අතර වුව
ඇඳ තිබුණි
මල්- මඟ
කිසිත් අඩුවක්  නැතිව
විසිරි වසුරින් හැඩකොට

වසන්තේ කෙලවර
මලක් අතකින් අරගෙන
හෙමි හෙමින්
ඇවිද එනයුරු දැක

Saturday, August 6, 2016

දූලි මල


අහු මුලු අමදිමින්
ගෙවා දැමු මුත් බොහෝ දවසක්
රන් සුණු නොලදියෙන්
සුන් ව ගිය සඳ සිහින සහසක්
මැටිකර දහදියෙන්
සොයා ගෙන ආ දූලි අහුරක්
ඉතා සියුමැලි විලසින්
අඹාගත්තෙමි රෝස කුසුමක්
වීනස් දෙවොල මලසුන
පිදුනු රන් මල් කිනිති දහසක්
අතරින් තැබූ කල
මහත් වෙහෙසක කුසුම් ලකුණක්
වහා එදෙසට දිගුවී
නොබිඳි රන් වන් නොබැඳි දෑතක්
වඩාගත් සඳ මල
දැනුණි දිවමන් සුසුම් පහසක්

Saturday, July 16, 2016

ඝාතකයින් අතර


“තව ගොඩක් කල් ද බං
මිඩ්වයිෆ් මිස් කියපු දවසට?
ආසයි දැකගන්ඩ
අලුත් කිරිකැටි මූණ
උඹේම ලෙයින් ඉපදෙන”

ඉක්මෙන්නටත් ඉස්සර
පළමු තුන් මාසය ද
නිතරම අසති විමසති
නොඉවසිලිකම් පාති
හිතමිතුරු වෙස්ගෙන,

ඝාතකයෝය උන්
අහිංසක විදියට හිනැහෙන

වසඟ වී ඒ බහට
කුලුඳුලේ ගැබ්දරන
ගර්භාෂ බිත්තිවල
මස් පේශි කිතිකැවෙන
කල්තියා විළි වැළඳ
ගබ්සා කළල වපුරන

“අහෝ!
කොතරම් සිනිඳු ද
මේ මූණු අත පය
මෝරාපු ඒවා වගෙ ද?”

උඩ පහළ පැද්දෙන
නිල් පාට තොටිල්ලක
නොමේරූ ළදරු මස නිදිකර
උඩින් අතපතගගා විමසන

ඝාතකයෝය උන්
අහිංසක විදියට හිනැහෙන

“සැකයි මට නං
කෝ හුස්ම
කෝ ගැස්ම
මැරිලා වත් ද
ඉපදෙන්නටත් ඉස්සර?”

‘කුහකයෙක්’
කලාතුරකින් අහන
දත් කැඩෙනතෙක් ගුටිකා
ඉගෙනගෙන පාඩම
සදහටම ගොළුවෙන

කුණු ගඳ නැගී එන සඳ
සැණින් මළකුණු හංගන
මොකුත් උනේ නැතිගානට
අහිංසක විදියට හිනැහෙන

ඝාතකයෝ ය උන්
අප අතරේම ගැවසෙන
අද අදම
හෙට වනසන!

Tuesday, May 31, 2016

පමා වූ අලුයම




ඔහේ ඉර හඳ පායා
මැරී වැළලුණ දවසක
කොහේ හරි ගුලිවී
හීන තොල ගෑ හවසක..
බඹර තුඩගක පැටලී
ඇඟිලි ඉදිමුණ මොහොතක
පන්හිඳ ඉකි ගැසූ
කඩදාසි කඳුළු බිව් යුගයක

කෙළවර උදාවිය
පමා වූ අලුයම
පෙරඹර සුරත් පෑ ගෙන
ගලාගෙන ආ උණුහුම

හපා කොටකර මිස
කපා නැති , මතක ඇති දවසක
හිනා වෙයි සුදු මල් 
වැවී එන නිය අහුරක

Saturday, May 28, 2016

බිඳුණු කැඩපත


ගෙයින් එළිය ට බැස
දෙපයින් ඇවිද එන විට
කඩුල්ල ලඟදි අම්මා
දෝතින් දුන්න වස්තුව

සීයගෙත්  සීය ට
වගෙ ම වෙනසක් නැතිව ම
බැලූ හැම විට මට
මාව පෙන්නූ කැඩපත

බර පොත් මිටි උසට
පොටෝ කොපි පිරිවර කොට
තිබූ පාඩම් මේසය
ඇදපු දා ඇඳ අසලට

සැනින් පැන පොළොවට
කැබලිවී උඩුබැල්ලට
අහුලන්න ගිය විට
කැපුනි හද රේඛාව හරහට

රාමුව පමණි දැන්
ඒ ඇණයේම එල්ලුන
කිළිටි බිත්තිය විතරක්
රවුම් කර කර පෙන්නන

ඒ වුනත් එකපාරට
විසිකරන්නේ කොහොමද
උරුමය නොවෙද එය
මගේ නූපන් පුතු හට??







Related Posts Plugin for WordPress, Blogger...