Sunday, July 12, 2020

බෛයනායක



අවදිව බලන විට වටපිට ඇසක කොනේ
කාලය විසින් යටකල ඇටසැකිළි ඇනේ
අමුතුම හැඩැති ආයුධයක් අතක පෙනේ
ගුලියක් වෙතත් එහි බලයක් තිබෙනු දැනේ

ග්‍රහයා කවුරුමුත් එළඹෙන දවස් වල 
හැම නිවෙසකම එක එළියකි සවස් කල
“කොම්බුව” දිගේ කරකා හැඩ වෙනස් කල
රස්නෙන් රෑ “ඉරේ” තැම්බේ තවත් මොළ

තැන තැන දැවෙනවිට ගිනි වැද වියරු මත
තව තව පිදුරු විසිරූ “පින්කරන” අත
පපුවට තඩිබබා  සැප දැයි අහන කැත
එක මීමෙක් නෙවෙයි දාහක් එතන ඇත

පැජරොයි කුලු හරක් සරනා මිනිස් වනේ
තිබෙනා බලය හැම වැලි ඇටයටම දැනේ
මොළයේ මුල පමණි වැඩි දෙනෙකු සතුඋනේ  
“රැස්පෙක්ට්” කියන්ටයි  ඒ පිරිස යොමු උනේ

බයලොජි කිය කියා බෛලොජි දෙඩවීම 
මෝරන තුරුණු ඇස් ඇන අඳ කරවීම
රෑ ඇදවැටුණ වලටම දවලුත් යෑම
කවුරුන් කලත් කළයුතුවැත ගැරහීම

කෝමාරිකා මෝරන වනලැහැබ් මැන
අහුමුලු නෑර අණසක පතුරනු පතන 
බලවත් බෛයනායක දිනක පඩි ගෙන
අප හැම රකිනු මැන යන එන සියලු තැන

රහසේ පැමිණ රථ වාහන හැපෙන තැන
වෙහෙසට වැහෙන කැමරා ඇස් නිදන තැන
නොවෙනස් කැලෑ නිතිය රජ කරන තැන
අපහැම රකිනු මැන යන එන සියලු තැන

සැමනුත් පරිප්පුත් සහලුත් ණයට ගෙන
තනවා පුදන මුරුතැන් බත වලඳමින
‘සහතික කොළ’ නැතත් හදබැතිය දැනගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රැකෙනු මැන 

painting by Birgir Rafn Fridriksson 

2 comments:

  1. ඔබගේ වෙබ් අඩවිය අපගේ සින්ඩියෙහි පල කර ගැනීමට මේ ලින්ක් එකෙන් එන්න. https://techwishwayasyndi.blogspot.com/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...