Showing posts with label සඳැස්. Show all posts
Showing posts with label සඳැස්. Show all posts

Sunday, July 12, 2020

බෛයනායක



අවදිව බලන විට වටපිට ඇසක කොනේ
කාලය විසින් යටකල ඇටසැකිළි ඇනේ
අමුතුම හැඩැති ආයුධයක් අතක පෙනේ
ගුලියක් වෙතත් එහි බලයක් තිබෙනු දැනේ

ග්‍රහයා කවුරුමුත් එළඹෙන දවස් වල 
හැම නිවෙසකම එක එළියකි සවස් කල
“කොම්බුව” දිගේ කරකා හැඩ වෙනස් කල
රස්නෙන් රෑ “ඉරේ” තැම්බේ තවත් මොළ

තැන තැන දැවෙනවිට ගිනි වැද වියරු මත
තව තව පිදුරු විසිරූ “පින්කරන” අත
පපුවට තඩිබබා  සැප දැයි අහන කැත
එක මීමෙක් නෙවෙයි දාහක් එතන ඇත

පැජරොයි කුලු හරක් සරනා මිනිස් වනේ
තිබෙනා බලය හැම වැලි ඇටයටම දැනේ
මොළයේ මුල පමණි වැඩි දෙනෙකු සතුඋනේ  
“රැස්පෙක්ට්” කියන්ටයි  ඒ පිරිස යොමු උනේ

බයලොජි කිය කියා බෛලොජි දෙඩවීම 
මෝරන තුරුණු ඇස් ඇන අඳ කරවීම
රෑ ඇදවැටුණ වලටම දවලුත් යෑම
කවුරුන් කලත් කළයුතුවැත ගැරහීම

කෝමාරිකා මෝරන වනලැහැබ් මැන
අහුමුලු නෑර අණසක පතුරනු පතන 
බලවත් බෛයනායක දිනක පඩි ගෙන
අප හැම රකිනු මැන යන එන සියලු තැන

රහසේ පැමිණ රථ වාහන හැපෙන තැන
වෙහෙසට වැහෙන කැමරා ඇස් නිදන තැන
නොවෙනස් කැලෑ නිතිය රජ කරන තැන
අපහැම රකිනු මැන යන එන සියලු තැන

සැමනුත් පරිප්පුත් සහලුත් ණයට ගෙන
තනවා පුදන මුරුතැන් බත වලඳමින
‘සහතික කොළ’ නැතත් හදබැතිය දැනගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රැකෙනු මැන 

painting by Birgir Rafn Fridriksson 

Friday, April 13, 2018

අවුරුද්ද එනකොට



නොයෙක් සිනහ සිහිවී පැමිණි ගම  රට 
මසක් වටින පඩි පත මිටක දිය    කොට
නොතිත් දන සරන මහ නුවර      වටපිට
ඩමිත් හෙලුවෙන් ය අවුරුද්ද එනකොට

Friday, March 4, 2016

මේ සා විකල් නගරෙක

තොග ගනන් මිනිස් - හිස් පණපිටින් තම්බන බම්බු අස්සෙන් විදින හුමාලෙට හුලඟකැ'යි පැවසෙන
උයන් බැම්මෙන් එපිට ඇස් ඇර බැලූ වරදට කාරා ගැසූ කෙළ තලි පිපි එන මල් මුහුණු මතුපිට
පල් දියෙහි රැලි මතුකොට ඉබාගාතේ පීනන හංසයෝ ගිල දැමූ පණුවන්ය - නර දුගඳ නොදැනෙන
දියපට්ට මතුවුණ පස්සාපැති පෝලිමේ අරගෙන බොහෝ සක් දෙවිවරු ඉස්පිරිතාල ගතකළ
මේ සා විකල් නගරෙක බේරාගන්න හදවත නිකං ම කවියෙකුට කොතෙක් වැයවිය හැකි ද මධුවිත

Sunday, August 10, 2014

කියන්න...


පාට ගිය සිහින සලුවක එතෙමින්නේ රෑට යහන පිට උඩුබැල්ලෙන් ඉන්නේ ඈත ඇහෙන පියවර හඩ ලංවෙන්නේ සීත වැඩිකමට ගැස්සී අහැරෙන්නේ
හුළඟක ඇලුණු සුවඳක ඉඟි සොයමින්නේ දොරවල් ජනෙල් කට බලියාගෙන ඉන්නේ සඳවල් පිරි පිරී මැරි මැරි උපදින්නේ තාමත් කොහෙද? මොකටද? හැංගී ඉන්නේ
පංකා තටුව නිසසල බව බිඳිමින්නේ කම්පාවෙන් වගේ දිනපොත පෙරළන්නේ හිස් කොළ මතට දේදුනු පැහැ ඉසිමින්නේ කවද ද ආයෙ කවියක් අරගෙන එන්නේ

Saturday, June 14, 2014

පොසොන් සිරි



දුනු ඊතල කෙටේරි ගෙන අවම බලය පෙන්නා 
දර්ම චක්‍ර වැදි පිරිවර හංදි ගානේ උන්නා 
සොයාගෙන මිනිස් ඉස් ගෙඩි හී සැර ඉගිලෙන්නා 
අලුත දැමූ කාපට් පිට උණු ලේ ඉහිරෙන්නා 

අම්මලාගෙ කඳුලු වලට ගම් බිම් යට වෙන්නා 
රක්ත තප්ත පඬුපුල ලඟ දෙය්යො ගිනි තපින්නා 
වසී බෝල අතේ තියන් මිහිඳු බණ අහන්නා 
හාව අරන් පොසොන් හඳත් තිසා වැවට පැන්නා

Wednesday, May 14, 2014

කුසිනාරා වඩිති බුදුන් !



දහම් සබා මණ්ඩපයේ 
කවුරුත් නෑ බණ අහන්න 
ඊයේ උන්නු ටිකත් ගිහින් 
කොතක ගලන කිරි බලන්න 

පාට කරපු ගඩොල් පිළිම 
වල රැස් දැක සාදු කියන 
ඇස් මේ මහ කල්පෙදි වත් 
ඇත්තට බුදුරැස් දකී ද? 

නරක් වෙච්ච පින්තුරේක 
දේව බ්‍රහ්ම බෝල දකින 
ඇස් මේ මහ කල්පෙදි වත් 
ඇත්තට දෙවියන් දකී ද ? 

"සාසනේ රකිමු" දෙසමින් 
බීසනේ බීජ වපුරන 
හිස් මිනිසුන්, නසනු මිසක 
ඇත්තට දහමක් රකී ද? 

අසිරිමත් ඇත්ත දකිනට 
තව අය නැති බව දැනගෙන 
සැබවින් බුදු කිස නිමකළ 
ගෝතම හිමි , දෙවැනි වරත් 

කුසිනාරා නුවර බලා 
අකම්පිතව වඩින සේක ! 

Tuesday, February 25, 2014

ඉරුණු අහස..

අතොරක් නැතිව ම මල්ටි බැරල් ගහනකොට අපි දැක්කේ කැඩෙන හැටි නාඹර තල් කරටි විතරයි .. ඒ වුනත් ඇත්තට ම හිල් උනේ අපේ නිල් අහසයි.. ඇවිදින බෝම්බ ඇවිදින් බ්ලාස්ට් කරගත්තාම අපි දැක්කේ ඉහිරිච්ච ඔළු, අත්, කකුල් විතරයි.. ඒ වුනත් ඇත්තට ම හිල් උනේ අපේ නිල් අහසයි.. "දේවෝ වස්සතු කාලෙන" පිකර් කටින් කිව්වට වස්සන්ඩ වතුර ටික කොහේ එකතු කරන්ඩ ද ඔය හිල් වෙච්ච අහසේ දෙවියෝ උනත් දැන් අසරණයි ! මේ නියං කරදර අකල් වැහි ඒකයි මහන්නට හදුවොතින් දැන් ඔය ඉරුණු තැන් ටික අයෙමත් තුවාලේ අලුත් වෙනවා තමයි .. ඒ වුනත් ආකහේ හූල්ලන එකවත් නවතියි ...!

Tuesday, January 28, 2014

?????


සිතිවිලි පාට හඳුනන 
තෙලි තුඩ පුරුදු අතකට 
පපුවක් සිදුරු කරනට 
අසිපත් තුඩක් කුමකට? 

දෙවියන් මැරුණු යුගයක 
මිනිසුන් යලිත් මවනට 
කවියන්ට පෑනෙන් මිස 
අවියෙන් හරඹ කුමකට? 

හදවත් තියෙන, ඇහැරුණ 
වැසියන් මිසක රටකට 
"උතුමන්" අණට අවනත 
සෙබළුන් තවත් කුමකට? ? 

Saturday, January 18, 2014

කවියාගේ පෙම්වතිය

"රට වටේ ගෑනුන්ට" 

ඔහු ලියන පද වැනුම් 

ඉරිසියා නැති ඇහෙන් බලන්නී...

 

වතාවක් ඈ නමට 

ලියා එවූ පද හතර 

රන් පිඩක් සේ තවම රකින්නී...

 

ගටගැහුණු , පටලැවුණු 

අකුරු එකිනෙක ලිහා 

එළිවැට ලඟින් පෙලට තබන්නී...

 

ඉඩ පිරුණු, ලොකු හිතක 

නිදහසේ ඇවිදිමින් 

සැලමුතු පෙමක මිහිර විඳින්නී..

Saturday, August 17, 2013

පස් වසරක් සරසවියේ...



පැතුම් පොකුරු පොදි බැඳගෙන ඇවිදින් හද සන්තානේ 
පස් වසරක් ගෙවී ගිහින් කඳු පාමුල හන්තානේ 
ටික දොහකින් නිමා වේවී අග හරියයලු මේ හීනෙ 
එතෙක් සිඹිමි කහ මල් පෙති මොහොතක් මොහොතක් ගානේ 

ලිහිණියෙකුගේ මරණය



වතුර පොදටත් තිබුණු අයිතිය නොහිතු දවසක ඇහිරුණේ 
තැවුණු අසරණ ලිහිණි සෙනඟක් දිය සොයා ගෙන ඉගිලුනේ 
අණට කීකරු තුවක්කුවකට ඉලක්කය නැත වැරදුණේ 
රුධිරයෙන් පස රතට හරවා තුරුණු පපුවකි නැවතුනේ 

උරාගෙන උණු රුහිරු පොළොවට එතැන බිජුවකි පැළවුණේ 
හිනාවෙනු ඇත මලක් මතු කර හෙට අපට අමතක දිනේ 

කවියාගේ(ම) කවිය..



වසා දොරගුලු, පිටත පොරකන
සුලං රැල් ගැන කතා කියනෙමි
රුදුරු නිරුදක කතර සරමින්
සීත වැහිපොද සිහින බෙදනෙමි
ගලන කඳුරක දිලෙන නිල ගැන
කාණු පතුලක කවක් පබඳිමි
ටිකෙන් ටික පණ අදින අතරේ 
මියෙන ගතකට හුස්ම පිඹිනෙමි

Sunday, July 28, 2013

නොපිපි මල සොයා


පිපෙනු පින් මඳ වුවද උපන් දූපත මත 
ඉඩ හසර කොතරම් ද මේ විසල් මිහිකත 
එන දිනෙක සුවඳ අරගෙන වඩින හදවෙත 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

ෆුජි කඳු මුදුන ඈතින් පෙනෙන මානෙක 
ඇවිලෙනා වැලි කතර ක්ෂේම බිම් හෙවනක 
යකඩ අයිෆල් ඇසට අසුවනා නගරෙක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

ඇලවෙනා කුලුන අසබඩ ගෙවතු උයනක 
සොඳුරු වැසි වනපෙතක ඇස නොගැසි පෙදෙසක 
තණබිමක ගොපළු ගී ඇසෙන ගං ඉවුරක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

තටු හැලී කුරුළු හද මියෙන තුරු දවසක 
නොපිපි මල සොයා පියඹමි නුහුරු ගුවනත 

Sunday, June 16, 2013

කිරි, පැණි හඳෙන් ම ය ..


රෑ හඳ අහසට දෑතම දිගු කර ඉල්ලපු කිරි පැණි           ඒ         බාලේ  
දෙන්න හිතාගෙන ඔන්න ගෙනල්ලලු ඇවිත් නිසා පුර පස     කාලේ 
කූඩු වෙලා පණිවිඩයක් යවපන් ඒවි හොයන් සුවඳට              ආලේ 
අරන් ඇවිත් පැණි, ගෙනෙයි යලිත් කිරි අලුත් තරුව උපදින  වේලේ

Wednesday, May 15, 2013

ආයෙමත් වැස්ස



අන්න අහසම අයිති කරගෙන උන්න ඉර කළු අඳිනවා
පන්න පන්නා සිරුර ඇවිලූ ගින්න ටික ටික නිවෙනවා
ඉන්න බෑ කටු අනියි වැහි පොද දන්න බව නුඹ දන්නවා
එන්නදෝ මල් කුඩේ හෙවනට ඔන්න ආයෙත් වහිනවා 

Saturday, March 30, 2013

සයිබර් මාරයෝ



යතුරු පුවරු පුපුරු ගසන 
මූසික උමතුවෙන් නටන 
බාවනවා, තොපි, පරයින් 
වචන පුපුරමින් ඇවිළෙන 


හක්කේ බුදු රැස් දිලිහෙන 
බොක්කේ දඩ මස් කුණුවුන 
දෑස්‌ අඳ සයිබර් මර සෙන් 
වර්චුවල් රුහිරු වගුරන 

Sunday, March 17, 2013

මත්තල ජන කවි සංවාද..!

කැලේ කොලේ කකා නොඉඳ
රෑන පිටින් ගමට වදින
අලි සෙල්ලං නවත්තන්න
වැටක් තනන්නෙයි?

දෑත සත්තිමත් කොරාපු
පිනට අපේ ගමට වඩින
ශ්වේත හස්ති රජුට ඉන්ඩ
ගාල තනඤ්ඤයි!

යකඩ කුරුළු පාර මැදින්
කහ ඉරි නොබල ම පනිනා
නාඹර සියොතුන් ගස් බැඳ
මට්ටු කොරන්නෙයි?

හේන් රකිනු තවත් මොටද
එදා ඉඳන් කල විදියට
අපි ඇවිදින් කුලියට
සකලයන් අඹඤ්ඤයි!

රට ජාතිය බේර ගන්ඩ
අපේ වරිගෙ බෝ කරන්ඩ
රෑ පුරාම පහන් නිවාගෙන
දත කන්නෙයි?

බල සත්තිය පිරිමහන්ඩ
අපේ යුතුකොම ඇත කොරන්ඩ
එළි වෙන තුරු හීනෙන්
සුර ලෝකෙ බලඤ්ඤයි!
අලි නැට්ටේ ළඟදිම අපි 
ඒ ලොව යඤ්ඤයි!

Tuesday, March 12, 2013

නුඹෙ සිනහව

එදා මෙදා දුටු සොඳුරුම සිනහව
 සැලී දෙතොල් මල්  ඉහිරෙන සිනහව
හිතේ අඳුරු මුළු පුරවන සිනහව
දුරින් ඉඳන් දැක සැනසෙන සිනහව

නිදා වැටෙන ඇස් ඇහැරන සිනහව
එතී වෙළී ගත පැටලෙන සිනහව
අගේ නොකර හිනැහෙන සුදු සිනහව
මගේ නොවන
පිවිතුරු  මුදු සිනහව

සළා දෙබැම හැඩ,  නළියන සිනහව
බලා ඉන්න හිත පොරකන සිනහව
නෙලාගන්න බැරි නෙළුමක සිනහව 
සදාතනික සිහිනෙකි ඔය සිනහව






Saturday, February 9, 2013

ලෝබකම



බොහෝ බර ය සමහර හිතිවිලි හිතට
දමා යන්ට ලෝබයි එහෙත් විසි කොට
සිනාවකට මුව ඉඩ නැති වෙලාවට
වටී කඳුළු මහ මෙරකට වඩා මට

Sunday, February 3, 2013

ලේ..


නොදැක ඉන්නට බැරි ද මන්දා
කලක් තිස්සෙම දකපු     හන්දා
ආයෙමත් ඇස කඳුළු     කැන්දා
ගලයිදෝ යළි හෙට       අනිද්දා


Related Posts Plugin for WordPress, Blogger...