Monday, October 29, 2012

ආ ගිය අතක් නැත...!!!

ආල හිත
ආ ගිය අතක් නැත,

අවසන් වරත් දුටු විට
"ඇඳ" සිටි බවට මතක ය,
උස අහස විතර ය,
සදාකල්හිම තුරුණු ය..
ලඟ හොඳින් පෙනෙන මුත්,
දුරක් නම් නොදකිත් ම ය..
 කටු ඇනී සීරුනු,
කැළැල් සියොළඟ නොඅඩු ය..
 ඒත් මල් අසල ය
තවමත් වාස දේසය..
 පෙර නොදුටු ඔබටත්,
මුණගැසෙනු ඇත, නිසැක ය,
ඇඟෑළුම් කම් නොපා
යන්නට හැරුම සුදුසු ය..!!!




Wednesday, October 24, 2012

කියන් නුඹේ ආදරේ..

උදා නැවුම් ආකහේ
ඉරක් ඇඳේ මීදුමේ
වලාකුලී සීතලේ
සිනාසලයි හෙමින් සැරේ

වසත් සමේ මායිමේ
කුසුම් පිපී ස්නේහයේ
සුගන්ද වූ මාරුතෙ
එතී නුඹේ කෙහෙ රැලේ
 
කියයි මගෙ ආදරෙ..//
 
සුසුම්, රිදුම් මකයි හිතේ
ලකල් සිනා සුපුල් වතේ
වදන් වැලෙන්.. ගී පොතේ
ඇඳේ කැලුම්.. නිල් නෙතේ

බොහෝ දුරයි ජීවිතේ
දැනෙවි දුර්ග මාවතේ
එතොත් වෙලී මා වෙතේ
දුකත් රහයි, මීවිතේ
 
කියන් නුඹේ ආදරේ..//

Monday, October 22, 2012

බටිච්චෝ..

ගොම්මන් කළුවර කැට කැට
කාන්දු වෙනකොට    කුටියට
පාලුව ලියලයි හිත          යට
උඹෙ ඔය කවියේ     තාලෙට

හිත දුක් ගන්නේ කුමටකට
වරෙන් උඹත් මේ  පැත්තට
හීන තියන් ඉහ කොට්ටෙට
නිදා ගනින් එක      හුස්මට

මාත් එක්ක හෙට උදේට
ඇහැරෙමු ඉඩ දී එළියට

Saturday, October 20, 2012

අපටත් රජෙක්..

කත් අදින්ඩ, මෙහෙ කරන්ඩ
පෙරළි පෙරළි, වැඳ වැටෙන්ඩ
ප්‍රශස්ති පූජා තියන්ඩ
අපට රජෙක් පහළවෙන්ඩ

 රාජ ඌස්නෙන් දැවෙන්ඩ
උදහස් හිස් ගැසුම් කන්ඩ
හැකිය වාල්කම් කරන්ඩ
අනේ සිහසුනට වඩින්ඩ

ඉතිහාසේ අර බලන්
රජෙක් නැතුව බෑ රැකෙන්ඩ
පරවේණිය අපෙ රකින්ඩ
තරහ අවසරයි, වඩින්ඩ

Friday, October 19, 2012

මෝහය..

වැහැරෙන,
සුද වැහෙන,
කබ කඳුළු වැගිරෙන..
ඉදිමෙන, 
ලේ පුරන,
පෙනුම බොඳවී අඳ වෙන..
සුවහසක් ඇස් දකින,
මම, තවත් කවි ලියන,
නුඹ මීන නෙත් ගැන..
 

Wednesday, October 17, 2012

අමතකත් ඇති..

ඔබට අමතකත් ඇති
ඉකුත් උඳුවප් දවස්
මේ තරම් හීත වැහි නොවැටුන..

ඔබට අමතකත් ඇති
දුරුතු මීදුම් සවස්
මේ තරම් තෙතට පිනි නොදැනුන..

ඔබට අමතකත් ඇති
නවම් හුළඟේ රහස්
මේ තරම් දුරස් වී නොඇසුන..

ඔබට අමතකත් ඇති
ඒ දවස් හරි වෙනස්
මේ තරම් රැය හෙමින් නොගෙවුන..

Monday, October 15, 2012

හස රහස..

ගතින් නොවැඩුන හසුන්
ගුලි ගැහී  ලැගුම් ගයි
පුලුන් අතුරා තැනූ
කැදලි තුල, සුවිසල්..

පොර බදයි,මහ එවුන්
අහසටම ඉගිලෙන්න
කඩාගෙන කූඩු වල
තදින් බැඳි දොරගුල්..

Sunday, October 14, 2012

ගමනක කෙළවර..

ආයෙමත් අවසාන වතාවට
ගියෙමි මම, නෙළන්නට ඒ කුසුම
ඈත ගිරි දුර්ගයේ මුදුනත
පිපී තිබෙතැයි යළිත් සැලවුණ

හමන සුළඟට සෙමෙන් රඟ දෙන
ළකල් පැහැයෙන් සදා සුදිලෙන
හාත්පස මුදු සුවඳ ඉහිරන
නිමල තිළිණයක් බව කියවෙන

හීතලෙන් හිරි වැටුණු,
දෑත් ලේ උනවන..
කවි ලියන කටු පෑන,
තීන්තෙන් පුරවන..
කට කතා හිත දරා,
එ මල ගැන පබැඳුණ..
දිවිතුරා ළඟට ගෙන
හැඩ බලනු රිසියෙන..

ළං වුණෙමි අවසන,
ඩහදියෙන් පෙඟුණු හිත අරගෙන,
උස් ගිරෙගි, මල් පිපෙන මුදුනට..
දෑත දිය කඳුරකින් පිස හැර,
පා තැබූයෙමි සෙමෙන්,
ඒ කියූ තුර වෙත..

දුර තියා දුටුවෙමි,
හිස් වියළි මල් නටුව..
කොළ හැලුණු අතු කෙළවර,
උපහස් මුවින් බලා හිනැහෙන..

එන ගමන් පල්ලම් බැස,
වුමක් දී ආවෙමි,
කපා මිටි බැඳ සැදූ,
ඇන්තූරියම් මිටකට..
පුරවනා පිණිස,
හිස් බඳුන එක් දිනකට..

පරවෙන්නටත් කලින්,
දමමි කුණු බඳුනට..
ඉඩ සදා,
දිනපතා,
අලුත් මල් ටිකකට..










Friday, October 12, 2012

නොවැදුනු හය..

දුබල වුනු පන්දුවට
ඉරෙන් ඉදිරියට පැන
වැරෙන් දුන් පිති පහර
හයක්(%) යැයි මුලා වී
ප්‍රීතියෙන් පරල වී
අපි තැලූ අත්පුඩිය
නිහඬ කර..
පිතිකාර මහත්තුරු
එකම එක ලකුණකට
පැති මාරු කරගෙන ය
ඈවරය තරඟය!
මදැයි, 
නි ලකුණු නොවුනි
අනූ නව වැනි
ඕවරය


Thursday, October 11, 2012

සිහිනයෙන් දුටු මළගම..

සොවින් බර වැකි වදන්,
සිය ගණන් ඇඳී ඇත.
මුහුණු පොත් පිටුවේ..
විදුලි ලිපි ගොනුවේ..

මට හිමිව තිබු සිරුර,
අවසාන ගමන් යයි,
ගිනි දිළෙන නගරේ..
රොබෝ අත් අතරේ..

එන්න ඉඩකඩක් නැති,
නෑ සුමිතුරන් එවූ,
ඉටි කුසුම් අතරේ..
ගත නිදන අතරේ..

ගන්දබ්බ මා මනස,
මළ මතක අවුස්සයි,
ගිලුනු බව කතරේ..
නොපළ කවි අතරේ..

Tuesday, October 9, 2012

දියවෙන මල්..

තෙමි තෙමී 
යන,
ම සිත
වදවෙයි..
ඔබේ
අත රැඳි
අලුත්
නිල් 
කුඩයේ,
දිය ව යන
සුදෝ සුදු
මල් දැක..


Saturday, October 6, 2012

හිනා මූණ..

වසන්තයක, හිනා පිපුනු
සිනා සිසී තිළිණ දුන්නු
හීන් ඇඟිලි තුඩින් මැවුණු
සිහිවටනය, හිනා පිරුණු

ලාච්චුවේ, පොත් අතරේ අඳුරෙත් දිළිහෙනා          මූණ
තාමත් අපි හිනා වෙතැයි හිතන් හිනා හළන          මූණ
අතට අරන්, හොරෙන් බලා ආයෙත් හංගනා         මූණ
මගේ නොවුන නුඹේ හිනා මගේ ලඟට ගෙනා       මූණ

ඉතින් අවැසි නම්,
ආපිට, ගෙනා හීන
අරන් යන්න, කම් නැහැ
මගෙ, "හිනා මූණ"

Wednesday, October 3, 2012

නික්ම යන ගිරවියට..

අවසරයි ඉගිලෙන්න
ආදරේ අඹර යට
ඉමක් නැති සුව පිරුණු
වළා බුමුතුරුණු පිට
ඉඩ දෙන්න, බොඳ වෙන්න
පහළ තනි කලු තිතට
ඒ මමය, ඔබ යන්න
ලොකු වැඩියි අහස මට

Monday, October 1, 2012

ඔත්පළ පැතුම..

කෙඳිරියක් ඇසූවෙමි
නලාවෙන් ලය තැබුන
හති ලමින් යළි යළිත්
මහළු හදවත නගන

ඔත්පළව ලෙඩ ඇඳක
වැතිර දහ දුක් විඳින
ඇඟ මසද ටිකෙන් ටික
ඇඳට දිය වී දිරන

බේත් පෙති, නාස් බට,
නහර වැල් කටු ඇනුන
බිඳෙන් බිඳ සේලයින්
ලේ හිඳුනු ගත උරන

හිටිවනම එළිය වී
මොහොතකින් යළි නිවුන
පුතු දකිනු රිසි දෑස්
තවත් නින්දම යදින
Related Posts Plugin for WordPress, Blogger...