Sunday, July 12, 2020

බෛයනායක



අවදිව බලන විට වටපිට ඇසක කොනේ
කාලය විසින් යටකල ඇටසැකිළි ඇනේ
අමුතුම හැඩැති ආයුධයක් අතක පෙනේ
ගුලියක් වෙතත් එහි බලයක් තිබෙනු දැනේ

ග්‍රහයා කවුරුමුත් එළඹෙන දවස් වල 
හැම නිවෙසකම එක එළියකි සවස් කල
“කොම්බුව” දිගේ කරකා හැඩ වෙනස් කල
රස්නෙන් රෑ “ඉරේ” තැම්බේ තවත් මොළ

තැන තැන දැවෙනවිට ගිනි වැද වියරු මත
තව තව පිදුරු විසිරූ “පින්කරන” අත
පපුවට තඩිබබා  සැප දැයි අහන කැත
එක මීමෙක් නෙවෙයි දාහක් එතන ඇත

පැජරොයි කුලු හරක් සරනා මිනිස් වනේ
තිබෙනා බලය හැම වැලි ඇටයටම දැනේ
මොළයේ මුල පමණි වැඩි දෙනෙකු සතුඋනේ  
“රැස්පෙක්ට්” කියන්ටයි  ඒ පිරිස යොමු උනේ

බයලොජි කිය කියා බෛලොජි දෙඩවීම 
මෝරන තුරුණු ඇස් ඇන අඳ කරවීම
රෑ ඇදවැටුණ වලටම දවලුත් යෑම
කවුරුන් කලත් කළයුතුවැත ගැරහීම

කෝමාරිකා මෝරන වනලැහැබ් මැන
අහුමුලු නෑර අණසක පතුරනු පතන 
බලවත් බෛයනායක දිනක පඩි ගෙන
අප හැම රකිනු මැන යන එන සියලු තැන

රහසේ පැමිණ රථ වාහන හැපෙන තැන
වෙහෙසට වැහෙන කැමරා ඇස් නිදන තැන
නොවෙනස් කැලෑ නිතිය රජ කරන තැන
අපහැම රකිනු මැන යන එන සියලු තැන

සැමනුත් පරිප්පුත් සහලුත් ණයට ගෙන
තනවා පුදන මුරුතැන් බත වලඳමින
‘සහතික කොළ’ නැතත් හදබැතිය දැනගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රැකෙනු මැන 

painting by Birgir Rafn Fridriksson 

Thursday, April 30, 2020

ඒ ආලෝකමත් අවදිය

ඒ ආලෝකමත් අවදිය
සියලු පැහැබර කිරණ
අප මත පතිත කළ

වැසි-සුළං දුහුවිලි ඇලී
ඇස් බොඳ නොවන්නට
පෙරා පිටතින් තබාගත්
වා-මුවාවේ මතකය,
දැන් නම් අතීතය

කලු ගලක හැපෙනා මොහොත ගැන
සැලසුමක් නොතිබුණා නොවෙයි
තියුණු වීදුරු සැතකින්
මරාගෙන මැරෙන්නට උව පිළිවන

තිරිවාණා කැට මෙන් විසිරී
බෙලසුන් කයින් වැතිරී
දැන් මේ කියන්නේ

ඒ ගමන අවසන් බව ද?

Wednesday, February 5, 2020

පෙත් මඟක මගියෙක්

ඉමක් නොපෙනෙනා පෙත් මඟ
නිමක් නොදන්නා ගමනක
අව් වැහි යට සිනහමුවින
තනිකර මිනිහෙක් දුර යන


කඳු පල්ලම්
බැස නගිමින
නැග බසිමින
යළි නගිමින


උජාරුවෙන් ඔජවඩමින්
ඉගිලෙන තරු ඉදිඹුවෙකුට
සෙවල හලාගෙන දිව එන
ගොලුබෙලි-හංගොලු කෙනෙකුට
ඉඩ දී අයිනකට වෙමින
හෙමින් යදඬු පා ඔසවන


මඟ අයිනක පිපී නටන
සුවඳ පාට මල් මූණක
සිනිඳු ගතිය ළඟ පමණක්
ඉඳහිට හෝ පය නවතින


වළාකුළක් ඉහලාගෙන 
මීදුමෙන් ජටා පළඳින
හඳ පලුවක හැඩ එලියෙන්
රෑටත් ඉර අරගෙන යන


ඉමක් හොය හොයා පෙත් මඟ
නිමක් දකිනු රිසි ගමනක
අව් වැහි යට සිනහමුවින
තනිකර මිනිහෙක් දුර යන

Sunday, January 12, 2020

නොකල වරදක්

පුවතක්- “සිපවැළඳගැනීමක් වළක්වා නොගැනීමේ” චෝදනාවට නිළදරුවෙකුට එරෙහිව පරීක්ෂණයක්.


හය හතර තේරෙන
වයසේ පටන් දඟ ඇති
කොතරම් වරක් එ’වරද
වළක්වා ගතිමු ද අපි

පැහැබර සිලිටි මල් පෙති
පොළොවෙන් මහ දුරක නැති
අතු අත නටා හිනැහෙන
මැරී ඉපදෙන මුත් නිති
මඟ හැර ආමු සිතමින
“රොනෙන් කිවිසුම් ඇවිලෙති”

ලොකුම ලොකු ඇස් ඇති
ළදරු පුරු පුරු මොළකැටි
උඩපැන කරට ගොඩවෙන
අදර කෙළිලොල් “බලු ගති”
මඟහැර ආමු කියමින
“උන් හරි අපිරිසිදු ඇති” 

පෙම්බස් නිතර තෙපලූ
වියළි වෙවුලන තොල්පෙති
පපුවේ මහ ඉඩක් ගත්
පුමිතිරි කොපුල් සුවඳැති
මඟහැර ආමු සිතමින
“කවුරුත් බලාගෙන ඇති”

අඩක් වැයවූ දිවියක
තවත් “පවකට” ඉඩ ඇති
අමතක වෙන්න ඉස්සර
මතක, සිරකළ යුතුවැති!

Painting: Marijana Rakićević

Thursday, March 21, 2019

කිකිළි දූපත

කැලැත්තී මුහුද හුලඟට
“පචස්” ගා වදින රැල්ලට
යළිත් යළි-යලිත් දියවෙන 
බිමක් තියෙනවා...
කොට කොටා සයින් යන එන
එහි දෙපා සතුන් ගැන දැන
කිකිළි දූපතයි ඒකට නමක් කියනවා..

පහුරුගා පයින් කතිරෙට
මඟ සදා හිවල් සෙනඟට
කූඩුවේ යතුරු වැඳ වැඳ
බැතින් පුදනවා..
තටු පවා ඉතුරු නැති කොට
එක එකා මරං කනකොට
එළවලා එවුන් හනිකට
මුගටි ගේනවා ..
නැති උනත් දැමුව බිජුවක්
හොයාගෙන රවුම් කිසිවක්
‍”රකින්නට වරෙව්” හයියෙන්
කෙකර ගානවා..
මොකෑ ඔය? කියා ඇහුවොත්
විදා තටු කැහැටු පොරකටු
මරාගෙන මැරෙන රෑනක්
පොරට පනිනවා..
හෙටක් නැති උනත් කාටත්
හොටක් තියෙනවා..

Painting by Martin Cambriglia

Wednesday, January 30, 2019

හිතමිතුරු හැම්ස්ටර්

නිශා නිසොල්මන් පාලුව බිඳින්නේ
සලා ‘දැකුලු මල්’ පෙති බිම හෙලන්නේ

දිරූ සීලිමේ දඟ කර පනින්නේ
කෘන්තක මූණ පටු යහනට පෙනෙන්නේ
ඉතා දුබල සිග්නල් කණු බිඳුන රට
නිවී විදුලි සැර රවුටර නිදන විට
දවා අවට සියොලඟ ගිනි නැගෙනකොට
උඹේ නිය පහුර සිහිවී රිදුණි මට
දාහක් උගුල් පාසානම් අතරින්නේ
දාහක් යොදුන් දුර ගෙවමින් දිව එන්නේ
දාහක් කාසි හපකර දත මැදගන්නේ
දාහක් වෙරලුමල් මැදියම පූදන්නේ
නැවී බිමට හිරිමල් මල් නටන තුරු
හැබෑවටම රොන්සුණු මුව ගැටෙනතුරු
සැදී යහන්ගැබ කිරි - කිරි නැගෙන තුරු
සදා අත නොහැරි අත ඒ හිත මිතුරු

Saturday, January 5, 2019

වධක භූමි


පැත්තකට හිස නැමුනු - නිල්පාට කුරුසයේ
අදත් උං කවුද ගැටගහලා
දුර උනත් පැහැදිලිව - දැකගන්න හැකි වෙන්න 

අත්වලට පුංචි ඇස් දීලා

චෝදනා ලියවිල්ල- බෙල්ල මුල එල්ලලා
ඉස් මුදුනෙ කටු ඔටුනු දාලා
නිදහසට කාරණා තියෙනවා ඇති,ඒත්
කොයි කවුද විමසන්නෙ හාරා

කිසිම වරදක් නොකල - කෙනෙක් පළමුව ගසනු!
කවුද කිවා ,ගොදුර පාලා
ගල් මුගුරු වැස්සකින් - අහස ඇහිරී ගියා
සෙනඟෙ නිවැරදි තරම පාලා

ලේ ගලන ,ඇට බිඳෙන- මස් තැලෙන ,හිස් පැලෙන
“අසිරි” දැක දැක උදම් විලා
නැඟුණ සැමරුම් හඬින් උඩුගුවන පිපිරුණා
තව්තිසා කුලුනු දෙදරාලා

බාල - වැඩිහිටි, ගෑණු-පිරිමි කවුරුන් උනත්
පැටලුනොත් කරුමෙ පළදීලා
ගැලවුමක් නෑ තවත් කාගෙ හරි ගෙල මුලට
වැටෙනතුරු රක්ත වද මාලා

මේ කෙබඳු නිරයක් ද? හෙට ඔබද? මම නොවේ ද ?
අසන කෙනෙකුන් වෙද විචාරා
වරෙන්තුව ලියාගෙන ඇවිත් දොර බිඳින තුරු
කෙළිමු සියොළඟ දූලි නාලා.. 

Saturday, December 1, 2018

මධ්‍යස්ථ ඌරෙක්


දිය අගලකින් වටවුණ- මඩ ගඳ ඌරු කොටුවක්
හරි මැද අයිතිකරගෙන - වැජඹුනා සූකරයෙක්
වමට පය තිබ්බොත් - දකුණටත් යයි අඩියක්
උතුරට ඇවිද්දොත් - අනික් අහටත් දුවයි සැරයක්
නවතියි අන්තිමේ - හිටි තැනම ඒ උගේ හැටියක්
ගරුසරුව ඇතුව කියැවෙයි
“හා! මධ්‍යස්ථ ඌරෙක්”
අගල අසලට ආ කල - නාඳුනන වල් (ඌරු) නඩයක්
හෙලා දැක දැක දඩයම - හඬතලයි බිම උලා කුරයක්
නත්තලට අවුරුද්දට - “පෝක්” වෙනකොට අසල්වැසියෙක්
කුටුකුටු ගගා තැන තැන - යදී බොරුවට හෙණයක්
“බැන්ණනෙ මරපු කාටත්”
තිබුණත් සැරේ වෙනසක්
සියලු සූකර සිත්බැඳි
“ඌරුවාදී ඌරෙක්”
කෑමට සලාකය - ලැබෙනකොට දවසට දෙසැරයක්
වනා වනා එහි යහගුණ - වළඳයි විලස මහතෙක්
උතුරා ගිය වෙලේ - පොදු මිනිස් වැසිකිළියක්
පැනගෙන ගිහින් හැල්මේ - පැරදුවා ආ ලොකුම ගලියක්
“වෙනසක් කොහෙද කෑමේ”
නෑ කිසි උඩඟු ගතියක්
බහුතරේ (ගඳ අනුව) කීවේ
“මූ හරි සරල ඌරෙක්”

Saturday, October 6, 2018

බිතෝවන් එනවා


සියුම් සැතකින් පලා අටකට
සොසේජස් සහ කුකුළු බිජුවට
ඔබා බනිසක බඩේ කොනකට
බිතෝවන්* එනවා ගෙයින් ගෙට


සීනි ඇට තෙත ඇඟේ ඇලවුන
කිඹුල් පැටවුන් අලුත ඉපදුන
කූඩු වීදුරුවට දතින් ඇන
ඉඟිමරා බඩ පොඩිති අඬවන


අට අනූවක් රෝග එන මඟ
ඒත් තනුවට කටට කෙල එන
එලයිස්* - පැව්ලෝ* දෙඅත් පටලන්
කඩුලු ලඟ බලු නගුටු නටවන


“එන්න ලාබයි ගන්න මේවා”
විශ්ව බසෙකින් කෑගසාගෙන
සිම්ෆනික සුවඳක් විදාගෙන
බිතෝවන් යනවා හරෝගෙන



  • බිතෝවන් (Ludvig Van Beethovan ) යනු විශ්ව කීර්තියට පත් බටහිර සංගීතඥයෙකි . ෆර් එලයිස් ( Für Elise) නම් ඔහුගේ අතිශය ජනප්‍රිය සංගීත ඛණ්ඩයයෙන් කොටසක් ලාංකික අපට නිතර දෙවේලේ අසන්නට ලැබේ. ඒ “චූං-පාන්” රථ වල නලා නාදයක් ලෙසිනි.


  • රුසියානු ජාතික විද්වතෙකු වල අයිවන් P. පැව්ලෝ චර්‍යාවන් පිලිබඳව ,සුනඛයින් යොදාගෙන කරන ලද සිය  සුප්‍රසිද්ධ පරීක්ෂණයේදී සීනු නාදයක් ඇසෙන විට අහාර නොමැතිව පවා කෙල වැගිරීම පැහැදිළි කලේ උගත් චර්‍යාවන් පිළිබඳව සාක්ෂියක් ලෙසිනි.

paint by Debra Hurd






Saturday, September 22, 2018

මතක පැහැසර


විරංජිත විජිතයේ කැලතෙන
වියලි සුදුමැලි සුලං දල රළ
ඔක්සිකාරක හුස්ම විසි කර
සැනින් උණුකර හරිත පැහැසර

දේදුන්න - සමනල පියාපත
මල් පෙත්ත - ලා දළු ඉහින තෙත
නිල් අඳුර - රතු තැඹිලි දහවල
සිතුවමකි තව නොමැකි  හදබිත

බිරම් සිහිනෙකි සැබෑවට මෙය
බලන් ඇස්පිය ඇර ඇතුලු හිත
කලු - සුදුය හිඳහිටක අලු වෙත   
එකම අතකට වෙනම ඇවිදිත  

ඉස්කෝල පොත් පිටක හිරවුණු
සප්‍රාණවාචී වු මතකෙක
සොප්‍රානෝ ස්වරයකින් ඇවිලෙන
ශ්වේත හස ගීතනුව ඇසුනිද?


Wednesday, June 13, 2018

වැළපෙන්නිය


මරීයා* නම් ඔබය
ස්වර්ගයේ දොර වැසුණ
සදාකල් මෙලොව
පරලොව අතර සිරකෙරුණ
නොනවතින වැළපුමක
ඉඳහිටක ඉකිගැසුන
කාලයේ ඉම තෙක්ම
ඇවිද යනු! අණ ලැබුන


ලිහීඑන සළුව ඇඳ
දරු දරාගෙන යනෙන
හඬා බිහිසුණු හඬින්
අංකිරට පැන දුවන
සාපලත් පරපුරට
තාම දිවි දොස් ගෙනන
ලිහිණි හෙළ පතුලෙ ඉඳ
අඬගසන හඬ අසන


ඔබේ සොයුරියෝ වෙති
එක කුසක නොඉපදුන
ලොවෙහි දෙකොණක උවද
එකම කොණ උරුම වුන


(* La Lorona නොහොත්  වැළපෙන්නිය යනු මෙක්සිකානු පුරාවෘතයකි.
සිය සැමියා විසින් රවටනු ලැබීම නිසා උපන් මහත් සිත්වේදනාවෙන්  දරු දෙදෙන
ගඟකට විසිකර තමන්ද එහිම පැන දිවි තොර කරගත් මරීයා නම් දුගී තරුණියක
ඉනික්බිති අවතාරයක් ලෙස වැළපෙමින් ඇවිදින බව එහි සවිස්තරය.
දරුවන් සොයා ඇවිදින ඇගේ වැළපුම් හඬ අසන්නට ලැබුනහොත් මහා ඛේදවාචකයක්
අතළඟ බව මෙක්සිකානුවෝ අදහති )

සිතුවම - Juana Alicia 



ගෝලයාගේ කවිය


නවා දණ වඳින විට පිටත් වී යන වෙලේ
කතා නැති ගුරු තරුව බොඳවුනා කරුවලේ
නොපා අත කිසිවෙකුට දිවි සටන දිනු වෙලේ
එපා හිත හූරන්ඩ ඇයි එහෙම මට කලේ


ඉස්සරහ පේලි වල හිටි දුවන පන්තියේ
අස්සයින් දුර ගියා සිප්ලැබූ සන්දියේ
මාළුවෝ මං වගේ කකුල් නැති ගැංසියේ
පීනන්ඩ පුරුදුවුනෙ තනියෙමයි හංදියේ


නොයෙක් හණගැසූ දඬුමොණර වල තටුගසන
කොතෙක් අය පැමිණේද දාර හොට බිම ඇණුන
උනුත් ඔය වගේමයි ඇඳුනුවත් නොහඳුනන
මජං ඔය හැටි විසද මචං කියපං ඉතින


ගෝල-ගෝලයින් මිස ග්‍රීස්මෙත් ටයි බඳින
පොතේ නැති විදියකට හිතේ හැටියට හිඳින
අපේ ජීවිත එකම අපායක් ලෙස දකින
දිසාපාමොක් මොටද කරේ හණමිටි දරන

Friday, April 13, 2018

අවුරුද්ද එනකොට



නොයෙක් සිනහ සිහිවී පැමිණි ගම  රට 
මසක් වටින පඩි පත මිටක දිය    කොට
නොතිත් දන සරන මහ නුවර      වටපිට
ඩමිත් හෙලුවෙන් ය අවුරුද්ද එනකොට

Thursday, March 1, 2018

අං පාර


හැම රෑම හීනෙකින් - කර ඇඹෙන හැටි දකින
කඩුලු කඹ කඩාගෙන - පනින ඇන ඇන දුවන
හති වැටී නතරවී - හණගැසූ තැන කසන
අං පාර (නො)වැරදුන - බෝ හිසින ලේ ගලන  

කුළුණු කලු වලාකුළු දුමට ඉහළින් නැගුන
හිස්කරත් මුදු බරැති හැඟුම් පොදි ලෙහි රැඳුන
වියරු ඇස ගැටුනු කල වන වදුල තෙත හිඳුන
හලයි ගිනි අඟුරු යලි ගෙයි උඳුන්වල රැකුන


Monday, November 20, 2017

අංකූරෝ


හ්‍යුමස් රසට කෑදර 
තෘණ බුමුතුරුණු අතහැර
නොනැවත මතුපිටින්
කිඳා බසිනුව පහලට
රලු ගල් බොරලු  විනිවිද

මුතු මැණික් 
‍රන් නිදන් නම් නොව
මුල් ගැටෙනු නියමිත,
මිනී ඇට කඳු ම ය
බොහෝ වධ විඳ වැළලුණ
අසාගන් ඒ හැමවිට 
කතා හැම උන් මුමුණන

වැඩී අතු හැම අත
නිවා සනහන සව්සත
උඹ මහ ගහක් වනු ඇත
ලපැටි අංකුර හිතවත


(Painting by Ion vincent)

වියත්-මං


වියතක් පළල මංපෙත
වියතක් දුරද නොපෙනෙන
ඇවැතක් පවා නොතකන
පිරිසක් තබති පියවර

අඳුරෙන් අඳුර වෙතටම 
අඩියෙන් අඩිය පිවිසෙන
පසුපස නොසිට පසුකර
අනෙකෙක් යතත් ඔරවන

අහසක් උසැති මිනිසුන්
මහ මං තනනු වෙහෙසෙන
වියතක් නූස් ‘වියතුන්’
පටුමං වෙතම පිවිසෙන

(Oil Painting by Karen Luke)


Related Posts Plugin for WordPress, Blogger...