Friday, January 25, 2013

නිවැරදි කිරීමයි

[කවි ලියන මිතුරෙකුට]

කවියෙකුට පුළුවන් ද,
රිද්දන්න මලකට
පොලු මුගුරු ඔසවන්න,
වීනස් ගෙ ඔලුවට
කඳුළු දිය පුරවන්න,
අහිංසක ඇහැකට
මිතුර බෑ පිළිගන්න,
තවම පුදුමෙකි මට

ලියන්නෙකි, පද ඔහේ විරිතට
නොවේ කවියෙක්, තවත් උඹ මට..

Tuesday, January 22, 2013

අටවක පිවිතුරුය..

ගිනිකණ නොවැට්ටුවාට
කෙලිලෝල තරු දෙනෙත්..
පුර හඳ වගේ නොව,
නොකිලිටිය නුඹ
රාහු පහසින්..

Sunday, January 20, 2013

පරාජය පිළිගෙන...


ලා රත් හීන් දෙතොලත්
වමැසෙහි උපන් ලපයත්
හැර වෙනින් කිසිවක් ,
වසත් කල පුරාවට,
 දිවා රෑ 
සිතින් වණපොත් කල,
නුඹ මුව මඬළ ගැන,
සිත් මවා ගත නොහැකිව

විළිබරව,
අසරණව,
කරබාගතිමි,
පරාජය පිළිගෙන
ඉරීගිය කැළැන්ඩර කොළ
අබිමුව..


Thursday, January 17, 2013

ආදරණීය චුයින්ගම් ..

චුයින්ගම්
කොයි තරම් අගනේ ද,
බඩ කට පුරා
කන බොන සෙනඟ අතරේ
කුසගින්දරේ වුව,
ආඩම්බරෙන්
හප හපා  
ඉන්න හැකි..
හොඳටෝම නීරස වුනත්
ටිකකින්,
විනෝදෙට බෝල පුම්බන්න  හැකි..
ඒකත් එපා වුන තැන
කොහේ හරි අලවා,
ඇඟට නොදැනී
යන්න හැකි..



Wednesday, January 16, 2013

ඊට පස්සේ..

ලඟදි දවසක
ඔබ  මට කියූ විලසට,
හිතේ ඉතිරිව තිබූ
අවසාන සුසුම ද
හෙලා හිස් අවකාශයට..
හිස් වූ හිතින් යුතුව
නිරායාසෙන් හෙලූ
පලමු හිස් බැල්මට..

  ඉහට ඉහලින්   
 ඇස් පුරා දිස්විය,
ඉබාගාතේ යන
වළාකුළු කෑල්ලක්වත් නැති,
 
නිලට නිලේ  
හිස් අහස!!

Monday, January 14, 2013

යුක්තිය උදෙසා..


නොපනත්කමේ බිජුවට බිම පැළ      කරලා
වංචා වතුර ,හොර බොරු පොහොරට දමලා
උස් කල තුරෙහි සුවඳැති යුක්තිය       පිපිලා
එන තුරු තප්පුලමු ගහ පාමුල           රැකලා

Thursday, January 10, 2013

සිඳ දැමූ මල් කැකුල ..

කග පතත්
දිළිසෙන්නැති
ඉවසන්න බැරි දුකෙන්..

ඒ ගිනිගත් කනිසමේ,
වැලි කතර මැද
නටුවෙන්ම සිඳ දැමූ,
අහිංසක මල් කැකුල
යන්තමින් වත් නොදැක..

අණ දුන්නු දෙවියන්
අහක බලනවා දැක..


Tuesday, January 8, 2013

හුළං

ජනේලය ඇරි විගස
මීදුමත් එක්කම
කාමරය අස්සට
හැමදාම වගේ රිංගන
අරුණු සුළඟෙහි
අදත් නැති හැටි
යන්තමින් වත් තැවරී,
ඇහැරුණු මලෙක 
පැහැබර සුවඳ..

Sunday, January 6, 2013

හඳක වෙනස..

හන්තානට හඳ පායා             දිළිසිච්චී
ඒ සඳ වතුර අපි තෙම තෙම   ඉහිරිච්චී
හේදී බිම වැටුනු හෙවනැලි  පැටලිච්චී
ඊටත් තදින් පැටළුනු හිත්     හාවෙච්චී

අහක බලන් හඳ අහසට         ඉස්සිච්චී
ඒ සඳ පුපුරු වැද සියොළඟ    ඇවිලිච්චී
නාඬා ඉන්ට  දෑහට අමතක       වෙච්චී
හාවිය නෙවෙයි මං හඳ යට තනිවෙච්චී

උත්තරීතර කවුද?

උත්තර හොයමු
කවුද වැඩියෙන්
උත්තරීතර කියලා..

පත්තර පෙරල පෙරලා
විස්තර එකතු කරලා

'උත්තම' පිරිස තර වෙන
රත් ලේ හෙමින් උරලා..
වැහැරෙන මව් පොළොව දෙස
තත්පරයකදු නොබලා..
ඇඟ කිළිපොලන, විසාලා
විසිතුරු අතර සරලා..
පණ පිටින් ගෙදර ආ
වෙහෙස අමතක කරලා..

උත්තර හොයමු
කවුද වැඩියෙන්
උත්තරීතර කියලා..




Thursday, January 3, 2013

බැරිද, මට වෙඩි තියන්න?

අනුකම්පා විරහිත
අවසාන වෙඩිල්ලද පත්තු කර
නිසල වන තෙක් කල් මරා
සැනසිල්ලේ ආපසු හැරුණු කල..

ඊළඟ අඩිය,
තබන්නට තිබු තැන,
හදිසියෙම යළි ඉපිද,
ළදරු අතපය සොලවමින් සිටි
ආදරය.. ආයෙම දැක, 

කලකිරුණු මනැසින්,
කොකා ගස්සා ගතිමි
හදවතට එල්ලකොට..

අමතකව,
අවසන් බව,
පතොරොම් සියල්ල..

බැරිද කාටහරි
මට වෙඩි තියන්න?






Tuesday, January 1, 2013

මැකෙන්නට පෙර ලියා තබමි !!!

ලියනවා මම කවියක්
කවදාවත් නොලියපු..
සමහර විට,
කවදාවත් නොලියවෙන
ආයෙම....

ඒ අනපේක්ෂිත
අත්දැකීමෙන්,
ගල් ගැහුනු හිත
වත්තන් කරගෙන
කොහොමහරිම,

 ඉවරයක් නැති බව 
දැන දැනත්,
ලියන්නම ඔනෙ මට,
දැන්මම...

 මේ පාට
දියවෙලා,
හිස් වෙන්න පළමුව
සේරම...ආයෙම...

මැකෙන්නට කලියෙන්
මගෙ ඇස් වලින්
මාව!!!!

එතෙක්...





වෙනස් වන බව වෙසෙස් විලසින් දැන දැනත් ඔබ මතු      දිනේ
 තවත් ළං වී ළඟින් ඉන්නට කියයි හිත හිරවුන               සෙනේ
යළිත් තනිවෙමි, එහෙත් කම් නැත එතෙක් මේ උන්    විලසිනේ
බෙදාගන්නට ඉඩ දියන් මට ජීවිතේ නුඹ                    සමඟිනේ

සේල් සේල්..

Thighs, Legs, Breast..
ඔනෙ නම් සතා පිටින්ම
කාගෙ  වුනත්
කටට කෙළ උනවන
අළුත්ම අළුත්
තෙල් බේරෙන
කිකිළි මස්!!!
Related Posts Plugin for WordPress, Blogger...