Thursday, November 29, 2012

උඹත් අම්මෙක්..

බොහෝ දිගු කාලයක්,
හිත අස්සේම අධිරෝපිතව
හෙමින් මුහුකුරා ගොස්
කළල අවදිය අවසන,
ලය පළාගෙන උපන්
මගේ කවි දරුපැටව්,
දන්නෙ නැතුවැති තාම
උඹ උන්නෙ අම්ම බව,
මුල් අණුව විතරක්
උන්ට දී
පැදුරටත් නොකියා
පැනගිය..

දින චර්යාව..

ලහි ලහියේම නිමකර
පියවි ලොව කටයුතු,
හනික රිංගා දොර වසාගමි,
මදාරා මල් පිපෙන
මගෙ සිහින කුටියට...

Wednesday, November 28, 2012

මතක හාදුව..

ඒ නිසංසල නිශාවෙහි
සඳ රැසින් මුවා වූ
සෙල් අසුන මත වැතිර,
සුසුදු සඳ වත මතුපිට
සෙමෙන් මා පතිත කල
හාදු වැහි පොද තුරල් වූ
සන්සුන් ඇසිල්ලක,
මගේ රළු කොපුලෙහි
තබා සීතල දෙතොල
උරාගත්තීය ඇය,
සියලු සිතිවිලි මහද,
අමාවක කලුවරට
නොබෝ දවසකට පෙර...

Sunday, November 25, 2012

චන්ද්‍රිකා..

අමතක වෙන්න
ලං වුණ
සම+හරක් වචන
ආයෙමත් අලුත් වී
අපට මුණ ගැහෙන හැටි,
බිඳක් වත්
අඩු නොවී
හුරු පුරුදු බොල් ගතිය!!!

අස්ස මාල්ලාගේ කවිය...

සම් මස් ඇට මිදුළු විනිවිදින
මේ තියුණු වෘක දත්  
රිදුම් නොගෙනේයි තවත්
මතක් වන විට
 කරෙන් ගෙන ආ මතකය
"මිනිහෙක්"
අසරණ නොකර
 අතර මඟ  
ලුහුබැන්ද බඩගිනි මෘග රැළ මැද

තවත් ටික මොහොතකින්
හිස්ව යනු පෙර, ලෙයින්
මේ අස්ස හදවත
එකම පැතුමක් ඇත
පතන්නට,
දුයිෂෙන්,  
 දයාබර ගුරුතුමනි..

මගේ අවසන් හුස්ම 
උණුසුමක් ගෙනේවා
හීත සෘතුවේ පුරාවට,
පිරුණු උණුහුම් හැඟුම්  
පුංචි හිත්වල ඉහින
කබායෙන් නොවැසුනු,
  ඔබ ගතට..
නිමාවී, හිම වැස්ස
එනතුරා..
සත්තකින් නුදුරේම
ඒ මිහිරි වසන්තය!!!!




Friday, November 23, 2012

ප්‍රීතිමත් සුළැඟිල්ල...

කාලෙකට ඉහත,
කල් යල් බලා
හිර කර ගැහූ ගැටයෙන්
නිදහස් වූ
ප්‍රීතිමත් 
නිසල 
සුළැඟිල්ලක්,
ආයෙමත්
වතාවක්
ඔහු නමින් 
නිදහසේ.. 
පැන් ගලන හඬ අසයි
කෙණ්ඩියෙන්.. 

Wednesday, November 21, 2012

අවාසනාවට ඇත්ත කතාවක්..

ගෙල කැපී මිය ගිය,
ඇස් බැඳි,  කාන්තා සිරුරක්.!!!
සුරත තවමත රැඳුන කඩුවෙන්,
සියතින්ම.. පණ සිඳ ගත්..
ඒ ළඟින්,
බිම වැටුණු,
පරණ තාලේ තරාදියක්.. 

නොදැක (වාගේ),
අසලින් යනෙන,
දන පයට පෑගී,
ඉරී යාමට ලං වූ
කඩදාසි කෑල්ලක්..
සැක කල හැකි,
මියගිය ඇගේ
අවසන් ලිපිය බවට..
තිබුණි එහි ,
එකම එක වැකියක්..
කුරුටු ගෑ
වෙවුලන
පැටලුන
අකුරෙන්..

" උන් ඔක්කොම එකතු වෙලා,
 මාව විනාස කලා" 






Sunday, November 18, 2012

කවි කැකුළු (3)


ගැස්සි ගැස්සී ගාටන,
තොරොම්බල් කරත්තය
පහුකර,
ගස්ස ගස්සා යන'යුරු,
එපුර සරනා ලියක ..

Friday, November 16, 2012

හකුරු කඩේ පසුකර...



රෑන කිතුල් මල පීරා හැර බැඳ හැඩ       කරන්නී
කඳුලන තෙලි දිය සුවඳින් බඹරුන් මත්  කරන්නී
ගිනි රස්නෙට කැටිවුණ දුක පනමට මිල කරන්නී
පැති කන්ණාඩියෙ පොඩියට තවම හිනා නගන්නී

Tuesday, November 13, 2012

උල්කාවක් වුව..

හැඩට දිළිහෙන,
නිලට නළියන,
අහස් බිත  
ඉහිරිලා ඇලවුන,
සහස් තරු කැකුළියන් පරදා ,
සොරා ගත්තේ නුඹය මා සිත..

නුදුරු ගුවනත,
දැවී ගිය මුත්,
මවෙත එන දුරු මග
අතර මග,
අඳුරු හද ඇඳි ඇඳී දිදුලයි,
එළිය ඉර,දැවි දැවී මැව් නුබ..

Saturday, November 10, 2012

බිය නොවෙමි..

දෑත් වා කව්ළුවේ
පුංචි හිදැසින් දික් කර
සූරා දමයි සියොළඟ
පොරෝණය හා ඇඳිවත
තියුනු නිය පහුරෙන් හිල් කර
හැඟුම් විරහිත
නරුම හීතල
බිය නොවෙමි, කම් නැත
නිර්වින්දිතය මා ගත
අවැසි තරමට ,
නිදිමත,
මහරු ඔසු, සුරැකිව ඇත

Friday, November 9, 2012

යුතුකම..

හැන්දෑව පුරා වට,
අනොරා වැහි පොදට,
තරු හැලුනු, ආකහේ,
කාන්සිය මකාලයි....
වළාවක බොඳවෙලා,
මැකී යන අතර වුව..

 ලා එළිය ඉහිරවන
සොඳුරු සඳ පැල්ලමක්..

Tuesday, November 6, 2012

උදම් රළ.. වෙරළ සහ ඔරළෝසුව..

මම
මිනිස් ඇසුරෙන් මිදුනු,
නිසංසල වෙරළක
පාට බෙලිකටු අතරින්
ඇවිදිමින් සිටියෙමි,
විඳිනු රිසියෙන්..
පතුල් සීතෙන් තෙමා යන,
පෙණකැටි දසන් විහිදමින්,
පෙරලි පෙරලී  කෝල වෙන,
සුසුදු සමුදුරු දියරළ..

පසුබිමෙන් වූ 
පොල් රුප්පවටත් ඉහළින්
දෑත් විහිදා 
වෙරළ මත පතිත විය
ඇසිල්ලෙන්
උදම් දළ රළ ..

සිතිවිළි කිසිත්
සිතෙන්නත් පෙර
නිසළ වී තිබුනි
සියල්ල,
යළිත්
ඉතිරි කර මා 
හුන් ලෙසම..
හුන් තැනම..
පුදුමයකි,
දිය බිඳක් වත් නොගෑවී
හුන් ලෙසම..
හුන් තැනම..

නොතිබුනි,
එකම එක බෙලි කටුවක් වත්,
වෙරළ විසිතුරු කල..
නොතිබුනි,
විසල් පොල් රුප්පාව,
වෙරළ සෙවනැළි අතුල..
මා පමණි,
හිස් වෙරළ
හුන් ලෙසම..
හුන් තැනම..
හුස්ම හිර කරවන

නිහැඬියාවක නිසළ..

මහත් අස්වැසිල්ලකි!!!
නාදවිය.. මහ හඬින්
ඔරලෝසුව..
එළඹී තිබුනු
අවදිවන කණිසමට..








Sunday, November 4, 2012

දළඹුවාගේ කවිය..

අමතකද සමනලුනි,
තොප සැවොම ගත කෙරුව,
ඒ දළඹු ජීවිතය..

පාට අත්තටු නැතිව,
අපිළිවෙල කටු බූව හම වැහුව..
මිහිරි මල් පැනි නොදැක,
දුටුව රළු කොළ යුහුව ගිල දැමුව..
දළ රිකිළි අතු අතර,
නිඳා නොනිඳා රැයෙහි,
පියඹන්න පින් පිරුව..
සරළවම කීවොතින්,
තොප සුහුඹුලන් කෙරුව..

ඒ දළඹු ජීවිතය,
අප ගෙවන..
අමතකද, 
මේ ගෙවුනු ටික දොහට?

Thursday, November 1, 2012

ඔය කවිය මට දෙන්න...

ඔය කවිය මට දෙන්න
හිස් හිතේ ඇඳ ගන්න
රැය පුරා ලඟ තියන්
හැඩ බල බලා ඉන්න

පස්සෙ පුලුවනි හෙමින්
මුල ඉඳන් කියවන්න
පද අරුත් ගළපන්න
මදි අකුරු අමුණන්න

ඉර නිවෙයි, අත වනන්
ඈත අඳුරට එන්න
යන්න පෙර ඇස් ලඟින්
ඔය කවිය මට දෙන්න
Related Posts Plugin for WordPress, Blogger...