මම
මිනිස් ඇසුරෙන් මිදුනු,
නිසංසල වෙරළක
පාට බෙලිකටු අතරින්
ඇවිදිමින් සිටියෙමි,
විඳිනු රිසියෙන්..
පතුල් සීතෙන් තෙමා යන,
පෙණකැටි දසන් විහිදමින්,
පෙරලි පෙරලී කෝල වෙන,
සුසුදු සමුදුරු දියරළ..
පසුබිමෙන් වූ
පොල් රුප්පවටත් ඉහළින්
දෑත් විහිදා
වෙරළ මත පතිත විය
ඇසිල්ලෙන්
උදම් දළ රළ ..
සිතිවිළි කිසිත්
සිතෙන්නත් පෙර
නිසළ වී තිබුනි
සියල්ල,
යළිත්
ඉතිරි කර මා
හුන් ලෙසම..
හුන් තැනම..
පුදුමයකි,
දිය බිඳක් වත් නොගෑවී
හුන් ලෙසම..
හුන් තැනම..
නොතිබුනි,
එකම එක බෙලි කටුවක් වත්,
වෙරළ විසිතුරු කල..
නොතිබුනි,
විසල් පොල් රුප්පාව,
වෙරළ සෙවනැළි අතුල..
මා පමණි,
හිස් වෙරළ
හුන් ලෙසම..
හුන් තැනම..
හුස්ම හිර කරවන
නිහැඬියාවක නිසළ..
හුස්ම හිර කරවන
නිහැඬියාවක නිසළ..
මහත් අස්වැසිල්ලකි!!!
නාදවිය.. මහ හඬින්
ඔරලෝසුව..
එළඹී තිබුනු
අවදිවන කණිසමට..
No comments:
Post a Comment