Friday, August 31, 2012

රෝමය ගිනි ගනී...

ගිනි ගනී රෝමය
අධි රජුනි බලනු මැන

ගිනි පුළිඟු ගිලිනයුරු
දුගී පැල්පත් පෙළ ම 
යට කරන් ගොවි බිම් ද, 
කඳුලු බොන කම් හල් ද
හුස්ම නැති, පණ අදින 
හිස්, වැසුනු, සිප් හල් ද 


තවත් සැඟවිය නොහැක
ඔබ ඔය වෙණ හඬට
වා තලය උණු කරන්
නැගෙන මහ විලාපය
ගිනි රැසින් තැවි තැවී
දැවෙන නුවරුන් නගන

ඉවත විසිකර වයන
මළ ඉලව් වීණාව
අණ දෙන්න ඇහැරින්න
මැති ඇමති සෙනඟ වෙත
නවතන්න පරදන්න
වියරු ගිනි රකුස් තෙම

එන නුදුරු නිමේෂෙක
අළු ව යන්නට කලින්
ඔබ නමින් අප තැනූ
නෙක සිරින් පිරි සොඳුරු
ඔය විසල් රජ මැදුර
තනිව නොව, සමඟ ඔබ...

Sunday, August 19, 2012

අකුරු සහ අපි..

ඇදයකින් ඇද කෙරුන
ඉස් පිලි හිසට වැටුන
පා පිල්ල පය ගැටුන
ඇල පිලි ඇඟට ඇළුන

වෙනස ඉවසා යසට
අදත් හිටගෙන එකට
හිඳිත් හැම එක පෙළට
මවත් පදරුත් රසට

නොරිසි කල දුරස් වුව
අවැසි තැන සමීපව
අමතක නොකර තවම
එකම හෝඩියක බව

හිනාවෙනු මම දුටිමි
අකුරු, කියවන අපට

Wednesday, August 15, 2012

නෑ කම..

ගිනි හුළං දළු වැදී  උණු වුන,
සෙයිලමේ මහ පාර අද්දර
පෙට්ටි කඩයක ටකරමක් උඩ,
කට්ට පාරට දියකොට
පට්ට ගිය ටයර් ජෝඩුව..
ගිජු බැලුම් බල බලා
කල් මරයි දින දින..
මිටින් ගත් සඳුන් හර
තබා ගෙයි දොර අඩයට
ජීවිතය හොයාගෙන
එහෙ මෙහෙ ඔහේ ඇවිදින
දහදියෙන් පෙඟි පෙඟී
රක්ත තප්තව දිලෙන
වෙහෙස මුත් පණ පිරුන
යව්වන සිරුරු පෙල දෙස
මතක් වී..පරණ නෑ කම


Saturday, August 11, 2012

හද බැඳි හසේ..

සිහින් දෙතොලග ඇඳුනු මදහස
පාන්දර ඉර එළිය සේ..
හීන් සීරුව අඳුර අරවයි
පිරිමදියි අහුමුළු හිතේ..
කාන්සිය සිත, මහන්සිය ගත
මාකාලන හද බැඳි හසේ..
පහන් වැටියකි,  දැවී උණුහුම
සදන, නළියන පවනතේ..

Wednesday, August 8, 2012

එකම දසුනක..

අළුතෙන්ම කපා ලූ
තණ බිස්ස මත සරයි
විවර වුණු බොජුන් පැස්
තළු මරා ගිල දමයි
යන්තමින් තටු ගහන
පුතු තුඩග රස තියයි
වසත් කල විවාපත්
තුරුණු කිරලන් යුවල

එකම බැල්මක දුරින්,


දුක් හඬින් කෑගසයි
තැවෙයි, හිස බිම ගසයි
පමාවී බිජු දැමූ
අසල් වැසි කිරලියක
කැපුම් තලයට බිඳී
කැබලි වුණ,බිම හැලුණ
තවම තෙත මතකයන්
එකතු කර ගනු බැරිව

Saturday, August 4, 2012

ඒ වගේ කවියක්..


ඒ වගේ කවියක්
ලියනු හැකි වී නම්
හෙළනු හැක හෙට වුනත් 
අවසාන හුස්ම රැල..
මියෙනු හැක නිදහසේ,
සිතයි හැම කවියෙක්...

ලියා නැති සිය අතින් කිසිවෙක්
ලියන හැම විටම අන් කිසිවෙක්

අර වගේ
මේ වගේ
ඒ වගේ
කවියක්

ලියා ගන්නට පතයි
සිතයි හැම කවියෙක්

Friday, August 3, 2012

ගීයකි ජීවිතය...


හීතල හිමිදිරිය
ආවාද නුඹ අදත්..
රෑ කල තරු එළිය
මැකී රිවි රැස් ගලත්..
පාවෙන දුම් රැළි ය
කඳු හිස් වැළඳගත්..
ගීයකි ජීවිතය,
ගැයෙන මුවගින් සියොත්..

Thursday, August 2, 2012

පෝය සඳේ...


පුදන'තර කිරි වතුර
බෝ මලුව තෙමලා
බැලුවෙ කිම කිසිදිනෙක
නෑ වගේ දැකලා
අඩක් පිරි පෙර රැයක
ඇසක් ඉඟි මරලා
එබුනෙ නුඹ නෙවෙද
අප හෙවනැලි ද පටලා
Related Posts Plugin for WordPress, Blogger...