Sunday, July 28, 2013

ලිලිපුට්ටෝ


මරණයේ යෝද කය
හෙලූ හෙවනැල්ල යට
අපි...
අසරණ ලිලිපුට්ටන්..
බේත් හේත්, වෙද හෙද කම්
ඉදිකටු කඩු කිණිසි රැගෙන..
යුද සැලසුම් සකසනු දැක
දුටුවෙද අවමන් සිනහව
ගලිවර මුහුණත මතුවුන..

ඉදින් මා කවියෙකු විය..



අමුතුවෙන් නොහිතා 
වැඩි යමක් 
ඔහේ කටු ගෑවෙමි..
බොහෝ දේ..

මා දකින ඇසිල්ලෙන් 
මලක් සේ පිපී ආ,
සඳ කිඳුරු මුව ගැන..
දෝතින්ම ගෙන මගේ 
නොවටිනා තිළිණයක්,
මහා මෙරක් ලද ලෙසින් 
විස්මයෙන් ඉස්සුණු ඇස් ගැන..
එකම එක වතාවක් 
සීතලට දැනුණු, මුදු 
ලපටි නා දළු ගැන...
අහිමි කරගෙන ඒ හැම,
අකාලේ මියගොසින් 
අපාගත වූ මගේම හිත ගැන..

නුඹ ද, ඒ මතකය ද..
කවියක් ම විය..
ඉදින් මා කවියෙකු විය.

සීතල ගමනාන්තය



ලෙහාගෙන 
දෙතොල් පැටලුම්, 
අදට සමුදී 
අවසාන අසුනට ,
වීසි කර කාණුවට 
තවත් දුර යන්න බැරි 
ටිකට්..
ඇවිළෙන දුලී අතරින් 
බොඳවී දුරස් වෙයි ,

අඩකින් නිවුණු ..
පෙම්වත් සිරුරු.. 

නොමියෙන මතක



කෙලෙස සම කරන්න ද 
ඔබ, සුපිපි මලකට..
රුව සුවඳ තිබුනාට,
මියෙනතුරු මට මතක,
මිහිරිතම උණුහුම..
අඩු නිසා මල් පෙති ළඟ..

කෙලෙස සම කරන්න ද 
ඔබ, සරා සඳකට...
මුදු එලිය හැලුවාට,
මියෙනතුරු මට මතක ,
හිත පිරෙන සිනහව..
අඩු නිසා සඳවත ළඟ..

කෙලෙස ගී ලියන්න ද 
තවත් නම් නුඹ හට..
සියක් පද හිතුනාට, 
මියෙන තුරු මට මතක 
ඒ මියුරුතම වදන..
අඩු නිසා කවි හිත ළඟ.. 

නිදි නැති රැයක


සඳ බොඳ වෙලා..මැකෙමින් 
තරු ගිලිහිලා..
හුරුපුරුදු කඳුලක් 
නෙතගේ..
මග බල බලා ...

පිණි ගැලවිලා.. අහසින් 
බිම ඉහිරිලා..
දිව ගිලුණු පොලවේ 
වැතිරී..
සරදම් කළා..

සීතල ගලා.. ඇවිදින්
සියොළඟ වෙලා..
උණුහුම් සිතුම් යලි 
කලතා.. 
රැය දිගු කළා..
Related Posts Plugin for WordPress, Blogger...