Monday, February 11, 2013

ලුණු රහ කවියක්..

මතක ද? 
දවසක හවසක
හති දාගෙන
මං ආවා 
උඹ බලන්න

ඉහින් කනින් ගලා ආපු
දහඩිය වත් හෝදගන්න
වෙලා නැතිව
දුවගෙන
දුවගෙන
දුවගෙන

වෙනද වගෙම
ඇහෙන් ගොඩක්
මුවින් ටිකක්
අහන කියන කතා ගොඩක
මං උන්නේ ආසාවෙන්
පැටළීගෙන

පියඹා ආ රතැඟිල්ලක්
මගේ කම්මුලක වැහැව්වෙ
එක පාරට

ඔයාගෙ මූණත් ඇලෙනව
දාඩියට ද?
ලැජ්ජාවෙන් බිම බැලුවා
මගෙ ඇස් දෙක..

යාන්තමට වගෙ දැනුනා
සියුමැළි රතදර සිසිළස
ඒ දාඩිය රැඳි කොපුලත

දරාගන්න බැරිතරමට
ලුණු රස ඇති ඒ හාදුව
හිනාවෙලා උඹ බැලුවට
ආදරේට..

අරන් ගිහින් තියාගන්න
මට හිතුනා,
සූකිරි කන්දක් පාමුල
සීතල හිම කිරම පතුරු
මාළිගේක
උඹ සදහට

අපි වෙන්වුන ඒ දවසෙත්
මං පැතුවෙම කොතනක හරි
පහළ වෙන්න ඒ සේරම
උඹේ නමට

ඒත් ඊයෙ තමයි දන්නෙ
ගිනි අව්වක පිච්චි පිච්චි
උඹ වැටිලලු ලේවායක
පාමුල, ලුණු කඳු යායක

අර වගේම හිනා වෙවී
ආදරේට..




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...