Friday, April 22, 2016

අඩක් දුර..


තුංග  ගිරි සිකරයෙහි
අඩක් දුර නැඟුන තැන
විසල් තැනි බිමක් වෙයි
හරිත පැහැයෙන් නිලන

වඩා වෙහෙසක් නැතිව
කඩාගෙන කනු පිණිස
අතේ දුර ඉදී ඇති
නොදත් නෙක පළවැල ය

බෑවුමෙහි අගට  විත්
පහළ බැලුවොත් කෙළින්
අතැර ආ පෙදෙස් වෙයි
කාකි පැහැයෙන් දැවෙන

කුහුඹුවන් තරම් වෙන
මුහුණු හඳුනනු නොහෙන
මිනිස් හැඩ කඩිසර ව
පොළොව හා යුදවදින

සිහිව පුංචි ම දවස්
පපුව හිරවෙන විටෙක
නොකෑ ගෙඩියක් දෙකක්
අත්හරිම්  ඒදෙසට  

බේරිලා මට මගෙන්
හදාගනු පිණිස හිත
කුඩා මිනිසුනි ඔතැන

ඔහොම්ම ම හිඳිනු මැන

Tuesday, April 12, 2016

එරබද්ද


අර බද්ද
මේ බද්ද
හොරෙන් එයි
නෑ සද්ද

ඩිස්කවුන්ට් හම්බුනත්
ගිණිගනං එරබද්ද ! 

Sunday, April 3, 2016

මචං ඇට්ලස්


කවුරුවත් නෑ බං දැන්
කරගහන්නට මේවට,

ලෝකයයි කියන්නේ 
ආයෙමත් මුං
පැතලිම පැතලි දේකට

කේබල් දිගේ පැතිරුණු
සිග්නල් ලෙසට විසිරුණු
ස්ක්රෝල්* කරතහැකි යමකට..

*Scroll 

Wednesday, March 30, 2016

වැහිවලට ඉස්සර..


සීතකළ අවන්හල සීතලම කෙලවරක හීතලට ගෑවෙවී ඉඳගන්න, ඇඟිලි දිග හිමකිරම දිය වෙවී ගලනයුරු විඳගන්න ලජුබරව බිම බැලෙන රතු ගැහෙන මුහුණ ළඟ කැපුචිනෝ උගුරකින් පිච්චෙන්න කඳු මුදුනකින් ගෙනා මඟ වෙහෙස කසල බඳුනෙහිලන්න සංවහන වැසිවලට ඉස්සර ඉස්පාසුවක් වෙයිද හමුවෙන්න? කවුරුවත් නොකියවූ ගිම්හාන කවි, එකම හුස්මකට හුවමාරු කරගන්න...

Friday, March 25, 2016

යථාවත



අන්වීක්ෂ - දුරේක්ෂ
පසෙක ලා මෙහි එන්න
මේ විසල් කැඩපතින් 
යථාවත දැකගන්න 

අපි අපේ තරමින් ම
ඒ තරම් දුරකින් ම

අර ඉන්න අපූරුව! 

ප:ලි :-

වම දකුණ - දකුණ වම
වෙනස් බව දැනගන්න



Related Posts Plugin for WordPress, Blogger...