Sunday, July 12, 2020

බෛයනායක



අවදිව බලන විට වටපිට ඇසක කොනේ
කාලය විසින් යටකල ඇටසැකිළි ඇනේ
අමුතුම හැඩැති ආයුධයක් අතක පෙනේ
ගුලියක් වෙතත් එහි බලයක් තිබෙනු දැනේ

ග්‍රහයා කවුරුමුත් එළඹෙන දවස් වල 
හැම නිවෙසකම එක එළියකි සවස් කල
“කොම්බුව” දිගේ කරකා හැඩ වෙනස් කල
රස්නෙන් රෑ “ඉරේ” තැම්බේ තවත් මොළ

තැන තැන දැවෙනවිට ගිනි වැද වියරු මත
තව තව පිදුරු විසිරූ “පින්කරන” අත
පපුවට තඩිබබා  සැප දැයි අහන කැත
එක මීමෙක් නෙවෙයි දාහක් එතන ඇත

පැජරොයි කුලු හරක් සරනා මිනිස් වනේ
තිබෙනා බලය හැම වැලි ඇටයටම දැනේ
මොළයේ මුල පමණි වැඩි දෙනෙකු සතුඋනේ  
“රැස්පෙක්ට්” කියන්ටයි  ඒ පිරිස යොමු උනේ

බයලොජි කිය කියා බෛලොජි දෙඩවීම 
මෝරන තුරුණු ඇස් ඇන අඳ කරවීම
රෑ ඇදවැටුණ වලටම දවලුත් යෑම
කවුරුන් කලත් කළයුතුවැත ගැරහීම

කෝමාරිකා මෝරන වනලැහැබ් මැන
අහුමුලු නෑර අණසක පතුරනු පතන 
බලවත් බෛයනායක දිනක පඩි ගෙන
අප හැම රකිනු මැන යන එන සියලු තැන

රහසේ පැමිණ රථ වාහන හැපෙන තැන
වෙහෙසට වැහෙන කැමරා ඇස් නිදන තැන
නොවෙනස් කැලෑ නිතිය රජ කරන තැන
අපහැම රකිනු මැන යන එන සියලු තැන

සැමනුත් පරිප්පුත් සහලුත් ණයට ගෙන
තනවා පුදන මුරුතැන් බත වලඳමින
‘සහතික කොළ’ නැතත් හදබැතිය දැනගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රැකෙනු මැන 

painting by Birgir Rafn Fridriksson 

Thursday, April 30, 2020

ඒ ආලෝකමත් අවදිය

ඒ ආලෝකමත් අවදිය
සියලු පැහැබර කිරණ
අප මත පතිත කළ

වැසි-සුළං දුහුවිලි ඇලී
ඇස් බොඳ නොවන්නට
පෙරා පිටතින් තබාගත්
වා-මුවාවේ මතකය,
දැන් නම් අතීතය

කලු ගලක හැපෙනා මොහොත ගැන
සැලසුමක් නොතිබුණා නොවෙයි
තියුණු වීදුරු සැතකින්
මරාගෙන මැරෙන්නට උව පිළිවන

තිරිවාණා කැට මෙන් විසිරී
බෙලසුන් කයින් වැතිරී
දැන් මේ කියන්නේ

ඒ ගමන අවසන් බව ද?

Wednesday, February 5, 2020

පෙත් මඟක මගියෙක්

ඉමක් නොපෙනෙනා පෙත් මඟ
නිමක් නොදන්නා ගමනක
අව් වැහි යට සිනහමුවින
තනිකර මිනිහෙක් දුර යන


කඳු පල්ලම්
බැස නගිමින
නැග බසිමින
යළි නගිමින


උජාරුවෙන් ඔජවඩමින්
ඉගිලෙන තරු ඉදිඹුවෙකුට
සෙවල හලාගෙන දිව එන
ගොලුබෙලි-හංගොලු කෙනෙකුට
ඉඩ දී අයිනකට වෙමින
හෙමින් යදඬු පා ඔසවන


මඟ අයිනක පිපී නටන
සුවඳ පාට මල් මූණක
සිනිඳු ගතිය ළඟ පමණක්
ඉඳහිට හෝ පය නවතින


වළාකුළක් ඉහලාගෙන 
මීදුමෙන් ජටා පළඳින
හඳ පලුවක හැඩ එලියෙන්
රෑටත් ඉර අරගෙන යන


ඉමක් හොය හොයා පෙත් මඟ
නිමක් දකිනු රිසි ගමනක
අව් වැහි යට සිනහමුවින
තනිකර මිනිහෙක් දුර යන

Sunday, January 12, 2020

නොකල වරදක්

පුවතක්- “සිපවැළඳගැනීමක් වළක්වා නොගැනීමේ” චෝදනාවට නිළදරුවෙකුට එරෙහිව පරීක්ෂණයක්.


හය හතර තේරෙන
වයසේ පටන් දඟ ඇති
කොතරම් වරක් එ’වරද
වළක්වා ගතිමු ද අපි

පැහැබර සිලිටි මල් පෙති
පොළොවෙන් මහ දුරක නැති
අතු අත නටා හිනැහෙන
මැරී ඉපදෙන මුත් නිති
මඟ හැර ආමු සිතමින
“රොනෙන් කිවිසුම් ඇවිලෙති”

ලොකුම ලොකු ඇස් ඇති
ළදරු පුරු පුරු මොළකැටි
උඩපැන කරට ගොඩවෙන
අදර කෙළිලොල් “බලු ගති”
මඟහැර ආමු කියමින
“උන් හරි අපිරිසිදු ඇති” 

පෙම්බස් නිතර තෙපලූ
වියළි වෙවුලන තොල්පෙති
පපුවේ මහ ඉඩක් ගත්
පුමිතිරි කොපුල් සුවඳැති
මඟහැර ආමු සිතමින
“කවුරුත් බලාගෙන ඇති”

අඩක් වැයවූ දිවියක
තවත් “පවකට” ඉඩ ඇති
අමතක වෙන්න ඉස්සර
මතක, සිරකළ යුතුවැති!

Painting: Marijana Rakićević
Related Posts Plugin for WordPress, Blogger...