Monday, November 20, 2017

අංකූරෝ


හ්‍යුමස් රසට කෑදර 
තෘණ බුමුතුරුණු අතහැර
නොනැවත මතුපිටින්
කිඳා බසිනුව පහලට
රලු ගල් බොරලු  විනිවිද

මුතු මැණික් 
‍රන් නිදන් නම් නොව
මුල් ගැටෙනු නියමිත,
මිනී ඇට කඳු ම ය
බොහෝ වධ විඳ වැළලුණ
අසාගන් ඒ හැමවිට 
කතා හැම උන් මුමුණන

වැඩී අතු හැම අත
නිවා සනහන සව්සත
උඹ මහ ගහක් වනු ඇත
ලපැටි අංකුර හිතවත


(Painting by Ion vincent)

වියත්-මං


වියතක් පළල මංපෙත
වියතක් දුරද නොපෙනෙන
ඇවැතක් පවා නොතකන
පිරිසක් තබති පියවර

අඳුරෙන් අඳුර වෙතටම 
අඩියෙන් අඩිය පිවිසෙන
පසුපස නොසිට පසුකර
අනෙකෙක් යතත් ඔරවන

අහසක් උසැති මිනිසුන්
මහ මං තනනු වෙහෙසෙන
වියතක් නූස් ‘වියතුන්’
පටුමං වෙතම පිවිසෙන

(Oil Painting by Karen Luke)


Tuesday, September 12, 2017

ඉනික්බිති


වසාලයි ඔබ පැමිණ
ඒ සියලු කුස්තූර
මහද බිත පුරාවට
කැතට විසිරී තිබුණ

පෙඳ පාසි අතර පිපි
පෙනෙන නොපෙනෙන පුෂ්ප
දැනෙන නොදැනෙන තරම්
ක්ෂුද්‍ර සුවඳක් සැදුව
නිදාහුන් ලැගුම්හල,

වැසී යයි එකින් එක
තැවරෙමින් සෙනේ දිය
බදාමය සේ සැදී
සියුමැඟිලි තුඩ මිදෙන

පිරියම් ව සුද මැදී
ඔප වැටී තිබෙන සඳ
අසයි ඔබ
සොයම් මම

ඒ කුඩා කුසුම් ඉඩ

Saturday, May 20, 2017

ලොවෙන් අඩක් තනි යායකි


රෑ දවසෙත් ඇහේ ඇනෙයි
ගනකම් අඳුරෙන් ඉස්සී
වැට කොටු කටු කම්බි පවුරු
හඳ දැක ඇහැරුන ගැස්සී
අමාවකේ වළා ගලා
තරු ගිනි පුපුරු ද හිස් වී
ලොවෙන් අඩක් තනි යායකි
කලුවර යට කැටිගැස්සී




අරුණෝදය


සුදු වළා
රෑ ඇඳුම අතරින් 
සීතලේ එසැවුණු
අඳුරු පැහැ ගිරි තුඩු..


අනුරාගිකය
අරුණෝදය..

Saturday, March 11, 2017

විල් තෙම


මුහුණටම වීසිකල
ලොකු කුඩා කැට කැබලිති
ග්ලුප් හඬින් ගිලදමන
ඉගැඹුරු සුනිල විල්තෙම


සියුම් දිය රැල්ලකි
ගැටෙනා තැනින් ඉපදෙන
මඳ දුරක් දිවගොස්
බොඳවී මැකීයන


නැත අන් සලකුණක්
ඒ කිසි මිනිස් වෙහෙසක
මඳ මඳ ඉහල එසැවෙන
දිය කඳ පමණි අපමණ





ඍතුවෙන් ඍතුවට..



අප්‍රියෙල් අහස ඉඹ
පිපිරිලා කැබලිවෙමි
වෙසක් හුළඟක ඇලී
තැන නොතැන විසිර යමි
නිකිණි හිරු අබිමුවෙහි
උණුව දියවී ගලමි
දුරුත්තේ හීතලට
නිවී යළි කැටිගැහෙමි

ඒ කිසිම තොරතුරක්
කිසිවිටෙක නොසඟවමි
මුදා විසිතුරු සලුව
අගුලු නැති දොර හරිමි

මිදෙන මං පෙනි පෙනී
සුවපහසු මිහිදුමක
පටලැවෙමි..

Thursday, January 19, 2017

කරගැට


ආකහේ නිල් පාට
ගොයම් ළා කොළ පාට
මජං කලු, බුලත් කෙළ
බිම අඳින රතු පාට
තවත් නෙක දැක පුරුදු
පෙට්ටියේ නැති පාට

එකිනෙක මුසුව - වෙන්ව
සියුම් රේඛා අතර 
අපිළිවෙළකට ඇඳුන
තවම තෙත එ සිතුවම

ඇස් පුරා විඳිනතර
බිඳ දමා සිත් දැහැන
සිත්තරා මහ හඬින්
හඬගසන හඬ ඇසිණ

"හෙළිකරමි මෙහි රහස
බලව් මේ දෑත් දෙස
පින්සලය මනාකොට
හසුකර දෙවන කරගැට"

චිත්‍රයේ ගනකමට
තැවරී තිබෙන දහදිය
දුක් ලැබ බොහෝකොට
නහර ඉල්පුන හදවත
දිස්වෙන නමුදු විනිවිද
වර්ණ රේඛා හැඩතල 

සිත්තම අසල දැන්
කිසිවෙක් නොමැත කියවන 
සිත්තර දෑත වටකොට
සොයති විස්මිත කරගැට

Related Posts Plugin for WordPress, Blogger...