Monday, September 29, 2014

තෙතබරිත හවසක සිතුවිළි

උරහිසත් හිසත් මැද
හිරකරන් පොඩි කුඩය
පොද වැස්ස යටට වී
වලාකුළු බැම්ම ළඟ
මම..
කෝ ඔබ ?

දුම් දමන කඩල මුල
ලොකු වැඩියි තනි අතට
හීල් වෙන්නට ඉස්සර
දැන් එන්න මේ ඉවුරට

පොරි අහුරකින් කිතිකැවුණ
නොඉවසිලිමත් දැඟලිලි
වැව් වතුර මත බොඳවුණු
උරුම නැති ලෝකයක හෙවනැලි

ඇහෙනවද?
මින නුවනක නොගැටී
හීතලේ පෑරෙන
කඩල ඇටයක මැසිවිලි ?

Saturday, September 20, 2014

අසංක්ෂිප්ත අත්පිටපතකින් කොටසක් !!!



සුබ පැතුමකට පුළුවන් ද 
සුව කරන්නට රිදුමක් 
ඇද අකුරකට නැති වෙයි ද 
ඇස පිසින්නට වරමක් 
තරු ඇබින්දකට පුළුවන් ද 
විනිවිදින්නට කළුවක් 
රෑ ගෙවෙන්නෙ ම නැති වෙයි ද 
හිත හදයි ලොකු බොරුවක් 

නග්න පය වැද පෙරලී 
භග්න වුනු හද බඳුනක් 
ලස්සන ම මල් අහුරක් !
ඒ, කල් ඉකුත්වුණු පැතුමක් 
ඇත්ත ..... මම වැරදියි 
අමතක වුණා මොහොතක් 
'ආදරේ' කියන්නෙ ම 
ඉරිසියාබර ගණුදෙනුවක් 

අත්මිදෙන්නට බැරිකම 
අත්දැකීමෙ ම කොටසක් 
අත් ඇලුන හැටි දැක්කම 
අත්තලයි පණ අදින පපුවත්  
අත්සන තියන දවසට 
අත් ඇරෙයි එක නමක් කොහොමත් 
අතින් ගත් රළු සුමුදු එ දෙඅත්  
අනවසරයෙන් ඉඹිමි තාමත් ! 

  


Related Posts Plugin for WordPress, Blogger...