Saturday, August 23, 2014

සිසිරයේ පළමු සන්ධ්‍යාව...

                                 Pix by Manjula Wediwardhana

අකාලේ ඇස් ඇරිය 
සුසුදු ටියුලිප් මලක් 
මිදී නටුවෙන් , මිදුණු 
පොළොව මත දණගසයි 

කැරලි ගැහි ගැහි අවුත් 
කැලරි දියකර දමන 
උකු හුළඟ, තැටිය මත 
කුසගින්න කොතගසයි 

පුරුදු තැන වකුටුවුණු 
නකුටු තනි මකන්නා 
නිහඬ කර නිහඬ බව 
වැරෙන් කන්පට ගසයි 

පත්‍ර ගලවා දැමූ 
නග්න මේපල් තුරක් 
තුරුණු හිම වැස්සකට 
ආයෙමත් අඬගසයි ..! 


Sunday, August 17, 2014

වලාකුළු උපදිනා තැන



පළල් වෙන පාරේ 
වැලමිටි වංගු කෙළවර 
කිසිදාක ගින්දර නොනිමෙන 
වලාකුළු උපදිනා තැන

බිම තබා ඇවිත් කිරි දරුවන් 
කෙසඟ අම්මාවරු 
හුණු කූඩ වඩාගෙන 
දුම් වැදී තැම්බිච්ච මූණ හරවා 
කහට පාටට හිනාවෙන 

'නැගෙන මග' වැඩ හිටපු වරදට 
හණ ගසා අතපය කපාහළ 
රුක් දෙවි මළකඳන් 
ගරුසරුව චිතකයට වඩම්මන 
කුදු ගැහුණු පිරිමි කොඳු 
කලාතුරකින් දිගෑරෙන 

කිළිටි කුණු සේරෝම වහගන්න 
වුවමනා හැමෝටම සෑහෙන්න 
කිළිටි අත්වල කරඟැට
සුදු හුණු හදන අතරේ 
දුම් කවුළු කට 
වලාකුළු උපද්දයි ඇතිවෙන්න 

ජල චක්‍ර පාඩමේ නොකියන 
විෂම චක්‍රයකි නිති කැරෙකෙන 
අවිස්වාසයි නම් තවත් වචන 
ඊගාව වැස්ස එනකල් ඉන්න 

අහස් දිය බිංදුවක තෙතමනය 
හදවතට උනන්නට ඉඩදෙන්න 
ටිකක් ඇස් පියන් එහෙමම ඉන්න 
දිව අගට නොදැනිච්ච 
කටුක දහදිය රහක් 
යන්තමට දැනෙයි එතකොට ඔන්න 

Sunday, August 10, 2014

කියන්න...


පාට ගිය සිහින සලුවක එතෙමින්නේ රෑට යහන පිට උඩුබැල්ලෙන් ඉන්නේ ඈත ඇහෙන පියවර හඩ ලංවෙන්නේ සීත වැඩිකමට ගැස්සී අහැරෙන්නේ
හුළඟක ඇලුණු සුවඳක ඉඟි සොයමින්නේ දොරවල් ජනෙල් කට බලියාගෙන ඉන්නේ සඳවල් පිරි පිරී මැරි මැරි උපදින්නේ තාමත් කොහෙද? මොකටද? හැංගී ඉන්නේ
පංකා තටුව නිසසල බව බිඳිමින්නේ කම්පාවෙන් වගේ දිනපොත පෙරළන්නේ හිස් කොළ මතට දේදුනු පැහැ ඉසිමින්නේ කවද ද ආයෙ කවියක් අරගෙන එන්නේ
Related Posts Plugin for WordPress, Blogger...