“තව ගොඩක් කල් ද බං
මිඩ්වයිෆ් මිස් කියපු දවසට?
ආසයි දැකගන්ඩ
අලුත් කිරිකැටි මූණ
උඹේම ලෙයින් ඉපදෙන”
ඉක්මෙන්නටත් ඉස්සර
පළමු තුන් මාසය ද
නිතරම අසති විමසති
නොඉවසිලිකම් පාති
හිතමිතුරු වෙස්ගෙන,
ඝාතකයෝය උන්
අහිංසක විදියට හිනැහෙන
වසඟ වී ඒ බහට
කුලුඳුලේ ගැබ්දරන
ගර්භාෂ බිත්තිවල
මස් පේශි කිතිකැවෙන
කල්තියා විළි වැළඳ
ගබ්සා කළල වපුරන
“අහෝ!
කොතරම් සිනිඳු ද
මේ මූණු අත පය
මෝරාපු ඒවා වගෙ ද?”
උඩ පහළ පැද්දෙන
නිල් පාට තොටිල්ලක
නිල් පාට තොටිල්ලක
නොමේරූ ළදරු මස නිදිකර
උඩින් අතපතගගා විමසන
ඝාතකයෝය උන්
අහිංසක විදියට හිනැහෙන
“සැකයි මට නං
කෝ හුස්ම
කෝ ගැස්ම
මැරිලා වත් ද
ඉපදෙන්නටත් ඉස්සර?”
‘කුහකයෙක්’
කලාතුරකින් අහන
දත් කැඩෙනතෙක් ගුටිකා
ඉගෙනගෙන පාඩම
සදහටම ගොළුවෙන
කුණු ගඳ නැගී එන සඳ
සැණින් මළකුණු හංගන
මොකුත් උනේ නැතිගානට
අහිංසක විදියට හිනැහෙන
ඝාතකයෝ ය උන්
අප අතරේම ගැවසෙන
අද අදම
හෙට වනසන!