Sunday, March 29, 2015

ඉඩ ඇත ...

මේ සීත මැදියමේ වුව 
සිහිනෙන් දොඩන කොවුලෙකු
ඉමිහිරිම ස්වරයෙන් 
ගීයක් ගයන්නට ඉඩ ඇත 

වාලුකාවට ඉහළින් 
පාලු අහසේ ඇවිදින 
තද හිතැති මේ කුලට ද 
ඉකිගැසී ඇඬෙන්නට ඉඩ ඇත 

නින්දත් නොනින්දත් මැද 
සියුම් ඉඩකඩ අතර 
කල්පයක කල්පනා 
සිරකරගන්න ඉඩ ඇත 

අද හෙට ම නොවුනත් 
අනිද්දා දවසක 
ප්‍රේමය පවා මුහුණට 
මුණගැහෙන්නට ඉඩ ඇත 




බැරිද ඇවිදින් යන්න


හිම මිදුනු තුඟු ගිරග
සුසුමකින් අවුලන්න
ගිනිතියා හීතලට
ඈතකට එලවන්න
කුලුඳුලේ හාදුවක 
රිදුම සිහිකැඳවන්න 
නෙත් කෙවෙනි හිස්, 
මිහිරි කඳුලකින් පුරවන්න

බිළිඳු පෙම තව දුරක්
වඩා ගෙන් ගෙට යන්න 
එපා! ඔබ කියයි, බැහැ
හිස් අතින් යළි එන්න
නොමළ බව මම, මටම
මතක් කර දී යන්න 
ඉස්පාසු වෙලාවක 
බැරිද ඇවිදින් යන්න
Related Posts Plugin for WordPress, Blogger...